භේදයක් නොමැතිව සියලු ජනතාවට නිදහසේ හුස්ම ගැනීමේ වාතාවරණයක් නිර්මාණය කරනවා

භේදයක් නොමැතිව සියලු ජනතාවට නිදහසේ හුස්ම ගැනීමේ වාතාවරණයක් නිර්මාණය කරනවා

- අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ

වත්මන් ආණ්ඩුවේ යහපාලනය යටතේ ජාති, ආගම් , කුල භේදයක් නොමැතිව සියළු ජනතාවට නිදහසේ හුස්ම ගැනීමේ වාතාවරණයක් නිර්මාණය කරන බව නව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් අධිකරණ අමාත්‍යාංශයේ දී ඊයේ(16) පැවසීය.

දාමරික කණ්ඩායම් කල්ලි විසින් ජනතාව තලා පෙළා පීඩනයට ලක්කිරීමේ යුගය අවසන් කර අනිසි අතපෙවීම් වලින් තොර නිදහස් අධිකරණයක් , නීතියක් හා පොලීසිය මගින් ජනතා ප්‍රශ්න විසඳීමේ කාලය අද පටන් උදාවන බවද ඒ මහතා පැවසීය.

අධිකරණට නීතියට හා පොලිසියට බලපෑම්කර එහි නිදහස් බව හා ආධිපත්‍යයට බලපෑම් කිරීමට කටයුතු කළහොත් තරාතිරම නොබලා ඔවුනට එරෙහිව නීතය ක්‍රියාත්මක කරන බවද එසේ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතිය ඇමැතිමේ මංගල කතාවේ දී මුළු ලෝකයට ඇහෙන්න ලබා දී ඇති බවද හෙතෙම පැවසීය.

මේ අනුව ශ්‍රී ලංකාව ලෝකයේ සාමකාමි රට මෙන්ම සුන්දරම රට බවට පරිවර්තනය කිරීමේ කාර්යයට කැපවන බවද විජේදාස රාජපක්ෂ මහතා පැවසීය. අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ නියෝජ්‍ය ඇමැති නීතිඥ සුජීව සේනසිංහ මහත්වරු ඊයේ (16) අධිකරණ අමාත්‍යාංශයේ දී සුබ මොහොතින් සිය ධුරයන්හි කටයුතු ආරම්භ කළ අතර එසේ වැඩබාර ගැනීමෙන් අනතරුව මෙම අදහස් පල ක‍‍ළේය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා