සැඟවුණු ධනුන අල්ලන උසාවි නියෝගය ප්‍රසිද්ධියට

ජුනි 30 දා උදේ 9.00ට උසාවියේ පෙනී සිටිනු

ශබ්ද විකාශන යන්ත්‍ර හා පෝස්ටර් මඟින්

සැඟවුණු ධනුන අල්ලන උසාවි නියෝගය ප්‍රසිද්ධියට

විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකාගේ බෑනා වන ධනුන තිලකරත්නට ජූනි 30 වැනිදා උදේ 9.00ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් වරයා ඉදිරියේ පෙනී සිටින ලෙසට කර ඇති අධිකරණ නියෝගය ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ඊයේ ප්‍රසිද්ධ කෙරිණි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ නියෝගයට අනුව ධනුන තිලකරත්න ඉහත සඳහන් දිනයේදී අධිකරණයේ පෙනී සිටිය යුතු බව දැක්වෙන දැන්වීම් ප්‍රසිද්ධ ස්ථානවල ඇලවීමද ඊයේ ආරම්භ විය.

හයිකෝප් මුදල් වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබියදී ධනුන තිලකරත්න පොලීසිය සහ අධිකරණය මඟ හරිමින් වෙස් වලාගෙන සැඟවී සිටින නිසා ඔහු පිළිබඳ තොරතුරු ශබ්ද විකාශන යන්ත්‍ර මගින් හා දැන්වීම් මගින් ප්‍රසිද්ධ කිරීමට මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළාය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියගේ නියෝග මත රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මොහාන්ලාල් සිරිවර්ධන මහතාගේ අධීක්‍ෂණය මත සැකකාර ධනුන තිලකරත්න පදිංචි බී. ආර්. 12/2, මංගල පාර මැනින්ටවුන්, කොළඹ 5 හා විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නිවස පිහිටි අංක 06 37වන පටුමග රැජින පාර කොළඹ 03 යන ස්ථානයන්ට ආසන්නම නගරයේ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් මෙම අධිකරණ නියෝග ඊයේ (31) සිංහල හා දමිළ භාෂා දෙකෙන් ප්‍රකාශයට පත් කෙරුණි.

එම නිවෙස් දෙකේ ප්‍රකටව පෙනෙන ස්ථාන දෙකක නියෝගය ඇතුළත් දැන්වීම් සිංහල හා දමිල භාෂා දෙකෙන් ඇලවීමද රහස් පොලිසිය විසින් ඊයේ (31) දිනම සිදුකරන ලදී.

ඊට අමතරව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රසිද්ධව පෙනෙන ස්ථානයක ද මහේස්ත්‍රාත්වරියගේ නියෝග මත අධිකරණ පිස්කල්වරයා විසින් මේ අධිකරණ නියෝග ඇතුළත් දැන්වීම් ඊයේ (31) අලවා තිබිණි. මේ අධිකරණ නියෝග ප්‍රකාරව ජූනි 30 වැනිදා උදේ 9.00 ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ සැකකාර ධනුන තිලකරත්න පෙනී නොසිටියහොත් 1979 අංක 15 දරන පනතේ අපරාධ නඩුවිධාන සංග්‍රහ පනතේ 60(1) වගන්තිය ප්‍රකාරව සැකකරුට අයත් නිශ්චල හා චංචල දේපළ තහනමට ලක් කිරීමට හැකියාවක් ඇති බවද ඊයේ (31) ප්‍රසිද්ධියට පත් එම නිවේදනවලින් හා දැන්වීම මගින් ප්‍රසිද්ධ කැර තිබිණි.

සැකකරුගේ දේපළ තහනමට ලක් කිරීමෙන් පසු පියවර ලෙස සැකකරුගේ එම චංචල හා නිශ්චල දේපල රජයට පවරා ගැනීම සිදුකෙරේ.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 60(1) උප වගන්තිය ප්‍රකාරව ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා සැකකරුට අයත් නිශ්චල හා චංචල දේපළ පිළිබඳ විස්තරයක් ලබන 09 වැනිදාට අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරිය ඊයේ (31) රහස් පොලිසියට නියෝග කළාය.

අධිකරණ නියෝගය ඇතුළත් දැන්වීම

යුද හමුදාවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කැර අමෙරිකා ඩොලර් 2,99,061.25 ක් වංචා කිරීමේ සිද්ධියේ දෙවන සැකකරු ලෙස නම් කර ඇති ධනුන තිලකරත්න පොදු දේපළ පනත යටතේ හා ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ අංක 400, 403, 454, 457 හා 459 වගන්ති යටතේ වරදවල් සිදු කැර ඇති බැවින් ඔහු අත් අඩංගුවට ගැනීමට 2010 / 02 / 15 දින අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරන ලදී.

සැකකාර ධනුන තිලකරත්න සොයා ගැනීමට නොහැකි බවත් සැකකරු වෙස්වලාගෙන සැඟව සිටීමෙන් අධිකරණ වරෙන්තු ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවත් රහස් පොලිසිය අධිකරණයට දන්වා තිබිණි. සැකකරු අත් අඩංගුවට ගැනීමට සිදු කළ ක්‍රියා මාර්ග සම්බන්ධව හා සැකකරු සැඟව සිටින බවට තහවුරු වන කරුණුද රහස් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

සිද්ධිය සම්බන්ධව රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවල අඩංගු කරුණු හා රජයේ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පසුගිය 26 වැනිදා මහේස්ත්‍රාත්වරිය විසින් සැකකාර ධනුන තිලකරත්න ‘ප්‍රකාශිත’ පුද්ගලයෙකු ලෙසට ප්‍ර‍්‍රකාශයට පත් කරන ලදී.

සැකකාර ධනුන තිලකරත්න ‘ප්‍රකාශිත’ පුද්ගලයකු ලෙස නම් කිරීමෙන් සැකකරු අත් අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකාවාසී ඕනෑම පුරවැසියෙකුට නීතියෙන් අවසරය ලැබෙයි. සැකකරු පිළිබඳ තොරතුරක් සපයන්නෙකුට රුපියල් දස ලක්ෂයක මුදල් ත්‍යාගයක් පිරිනමන බවටද පොලිස්පතිවරයා විසින් ප්‍රකාශයට පත් කොට ඇත.

දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන මේ සිද්ධියේ දෙවන සැකකරු වන ‘හයිකෝප් ප්‍රයිවට් ලිමිටඩ්’ ආයතනයේ අධ්‍යක්‍ෂවරයකු වන ‘වැලන්ටන් ට්‍රෙස්ටන් ඩේ හොට්’ නමැති සැකකරු සම්බන්ධව ඉදිරියේ සිදු කරන පරීක්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස ඊයේ (31) රහස් පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 09 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබීමට නියෝග කළාය.

ශ්‍රී ලංකා යුද හමුදාව වෙත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ප්‍රශ්නගත ටෙන්ඩර් හතරක් ලබා ගනිමින් රජයට අමෙරිකා ඩොලර් 2,99,061.25 ක් වංචා කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ල මත රහස් පොලිසිය මෙම පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ලාල් සිරිවර්ධන මහතා පෙනී සිටියේය. රක්ෂිත බන්ධනාගාරයේ පසුවන සැකකාර අධ්‍යක්‍ෂවරයා විසින් නීතිඥ සරත් සිරිවර්ධන මහතා පෙනී සිටියේය.

සිද්ධිය නැවත කැඳවීම ලබන 09 වැනිදාට කල් තැබිණි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා