සංවර්ධනය සහ නඩත්තුව විධිමත්ව ක්‍රියාත්මක කළ යුතුයි

සංවර්ධනය සහ නඩත්තුව විධිමත්ව ක්‍රියාත්මක කළ යුතුයි

මහමෙව්නා උයනේ පහසුකම් පිළිබඳ සාකච්ඡාවකදී ජනපති කියයි

සංවර්ධනය සහ නඩත්තුව යන අංශ දෙකම විධිමත්ව ක්‍රියාත්මක කළ යුතු බව, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෙන්වා දෙයි.

එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් මහමෙව්නා උයන හා ඒ අවට ප්‍රදේශවල මූලික පවිත්‍රතා කටයුතු ආලෝකකරණය සහ සැදැහැවතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳ අරලියගහ මන්දිරයේදී ඊයේ (31) පැවැති විශේෂ සාකච්ඡාවකදී  ජනාධිපතිවරයා මේ බව පැවැසීය.

දැනට මහමෙව්නා උයනේ නඩත්තු හා පවිත්‍රතා කටයුතු සඳහා විවිධ රාජ්‍ය ආයතන යටතේ යොදවා ඇති සියලුම සේවකයන් සඳහා විධිමත් සම්බන්ධීකරණ වැඩපිළිවෙළක් සැකසීමටත්, ඒ අනුව සිවිල් ආරක්‍ෂක බළකායේ සහයෝග ඇතිව වැඩසටහන ක්‍රියාත්මක කිරීම, ආරක්‍ෂක ලේකම්වරයාගේ උපදෙස් හා අධීක්‍ෂණය මත සිදුකිරීමටත් මෙහිදී තීරණය විය.

මහමෙව්නා උයන පූජා භූමිය පෞරාණික වටිනාකම් ආරක්‍ෂා වන පරිදි ක්‍රමවත් සැලසුමක් යටතේ කඩිනමින් සංවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලද අතර, මහමෙව්නා උයන ආශි‍්‍රතව මූලික පවිත්‍රතා කටයුතුවලින් අනතුරුව, කෙටිකලකින් ක්‍රියාත්මක කළ හැකි විධිමත් සංවර්ධන සැලසුමක් කඩිනමින් ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

“අතීත අබිමන් හෙටටත්” මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක ‘උරුම අරුණ’ වැඩසටහන යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ප්‍රදේශ රැසක් සංවර්ධනය කර සංරක්‍ෂණය කිරීම මේ වන විට ආරම්භ කර ඇත. ඒ යටතේ අවුකන පුදබිම, කැබිතිගොල්ලෑව, හල්මිල්ලවැටිය ආරණ්‍ය සේනාසනය පූජාභූමි සංවර්ධනය අවසන් කර තිබේ.

ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන ආශි‍්‍රත යෝජිත නව ව්‍යාපෘති 20ක් ද මේ වන විට හඳුනාගෙන ඇත.

මෙම අවස්ථාවට අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස, රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන, ලංකාරාමාධිපති රලපනාවේ ධම්මජෝති ස්වාමීන් වහන්සේලා සහ අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ජී. එල්. පීරිස්, බැසිල් රාජපක්‍ෂ, පවිත්‍රා වන්නිආරච්චි, ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් සහභාගී වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා