මහින්ද රාජපක්ෂ ශ්‍රීලනිපයට අලුත් පාඩමක් කියා දෙයි

මහින්ද රාජපක්ෂ ශ්‍රීලනිපයට අලුත් පාඩමක් කියා දෙයි

දේශපාලන ජීවිතයට වසර හතළිහක් සපිරෙන මොහොතේ තමන්ට බෙහෙවින් ආඩම්බරකමක් දැනෙන්නේ කුමන කෙනෙහිලිකම් ආවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර යන්නට සිහිනෙකින්වත් නොසිතුණු නිසා යැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

වසර හතළිහක සිය අත්දැකීම් තුළින් තරුණ පරපුරට දෙන පණිවිඩය නම් “පක්ෂය සමඟ සිටින්න, එවිට පක්ෂය ඔබ රැක ගනීවි” යන්න යැයි ද ජනාධිපතිවරයා ප්‍රකාශ කෙළේය. ජනාධිපතිවරයා මේ අදහස් පළ කෙළේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සමස්ත ලංකා කාරක සභාවට අරලියගහ මන්දිරයේ දී ඊයේ (07) එක් වෙමිනි.

හිර ගෙවල්වල ගත කරමින් නොයෙක් දුක් කම්කටොලු මැද තමන් ලත් ඒ අත්දැකීම් ආදර්ශයට ගෙන පක්ෂය ශක්තිමත් කර ඉදිරියට ගෙන යාමට කැපවන්න යැයි ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

පක්ෂය කෙරෙහි දැඩි සේ විශ්වාසය තැබූ ජනතාවට දුන් බලාපොරොත්තු ඉටු කිරීම සියලු දෙනාගේ වගකීම බව අවධාරණය කළ ජනාධිපතිවරයා ගමට ගොස් මැතිවරණ දිනා ඡන්ද දායකයා අමතක කර කොළඹටවී සිටීමට කිසිවකුටත් හැකියාවක් නැතැයිද කීවේය. තමන්ට ඡන්දය දුන් නොදුන් සියලු දෙනා පිළිබඳ වගකීම සෑම මැති ඇමැතිවරයකුටම තිබෙන බව පැවැසූ ජනාධිපතිවරයා ආර්ථිකය සංවර්ධනය කිරීම, යටිතල පහසුකම් ගොඩනැඟීම, ජනතාව සුඛිත මුදිත කිරීම යනාදී සියලු ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට සූදානම් විය යුතු බවත් ප්‍රකාශ කෙළේය.

මහ මැතිවරණයේදී ඇතැම් මන්ත්‍රීවරුන් සියයට 85ක මනාප ප්‍රතිශතයක් ලබද්දී සමහරුන්ට ලැබුණේ සියයට 7ක් පමණක් බව පැවැසූ ජනාධිපතිවරයා එයින් පෙනෙන්නේ ජනතාව පක්ෂය වටා ඒකරාශී වීමේ ප්‍රතිඵලය බවත් පැවැසීය.

මැති වරණයකදී පමණක් පක්ෂය ගැන කල්පනා කිරීමේ ප්‍රතිපත්තිය වෙනස් කළයුතු බව කී ජනාධිපතිවරයා සෑම මැතිවරණයකදීම ජයග්‍රහණය කළ හැකි මට්ටමට ඳඬසුන්ගේ විශ්වාසය දිනා ගැනීමට අපට හැකිවිය යුතු බවත් පැවැසීය.

මහා සංඝරත්නය ප්‍රමුඛ සර්වාගමික පූජකවරුනුත් අගමැති දි. මු. ජයරත්න, කථානායක චමල් රාජපක්‍ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහත්වරු ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨයන්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහෝදර පක්ෂ නායකයන්, මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා