මාලිගාකන්ද උසාවියේදී 11ක් පැන යති

විශේෂ සිර මැදිරියේ කම්බි කපා

මාලිගාකන්ද උසාවියේදී 11ක් පැන යති

දෙදෙනෙක් හවසම දැලේ

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (7) ඉදිරිපත් කැර සිටි සිරකරුවන් දහ දෙනකු හා එක් සැකකරුවකු රැකවලුන්ගෙන් මිදී පලාගොස් තිබේ.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ සිරමැදිරියෙන් සිරකරුවන් පලාගිය ස්ථානයයි මේ. ඡායාරූපය - රොෂාන් පිටිපන

ඉන් දෙදෙනකු ඊයේ (7) සවසම මරදාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණ භූමියෙන් පලාගිය මොවුන් ත්‍රි‍්‍රරෝද රථයකින් යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මේ එකොළොස් දෙනා අධිකරණ භූමියේ ඇති විශේෂ සිරමැදිරියක රඳවා සිටියදී මැදිරියේ ජනේලයට යොදා ඇති කම්බි කපා එදින දහවල පලාගොස් තිබෙන බව බන්ධනාගාර නිලධාරීහු පවසති.

මත්ද්‍රව්‍ය නඩු සම්බන්ධයෙන් (ශාලා අංක දෙක) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටි මේ සිරකරුවන්ගෙන් හයදෙනෙක් ජිවිතාන්තය දක්වා සිරදඬුවම් ද දෙදෙනෙක් වසර 20ක සිරඳඩුවම් ද නියම වූවෝ වෙති.

අච්චු විඳිමින් සිටි සිරකරුවන් දසදෙනා වෙනත් නඩු සම්බන්ධයෙන් අධිකරණයට අවශ්‍යව සිටි පුද්ගලයන් බැවින් එම නඩු සඳහා ඉදිරිපත් කිරීමට රැගෙනවිත් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ ඇති විශේෂ සිරමැදිරියේ රඳවා සිට ඇති බව බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක කෙනට් ප්‍රනාන්දු මහතා පැවැසීය.

ජනේලයේ කම්බි කපා පැනගිය අනෙක් පුද්ගලයන් එදින සවස් වන විට ද අත්අඩංගුවට ගෙන නොතිබිණි. පලාගිය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මරදාන පොලිසිය මගින් පරීක්‍ෂණ ආරම්භ කැර තිබේ.

ඊයේ (07) දහවල මහේස්ත්‍රාත් අධිකරණ භූමිය වෙත ගිය පොලිස් නිලධාරීහු නිල සුනඛයන් ද යොදාගනිමින් මේ පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා