අන්තර් ජාතික විශ්වවිද්‍යාල පීඨ ආරම්භ කීරීමට පියවර අරන්

අන්තර් ජාතික විශ්වවිද්‍යාල පීඨ ආරම්භ කීරීමට පියවර අරන්

- උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක

අන්තර් ජාතික විශ්වවිද්‍යාලවල පීඨ ඉක්මනින් මෙරට ආරම්භ කිරීම සඳහා දැනට සාකච්ඡා කරගෙන යන බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා පවසයි.

දැනට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගන්නා අවම ඉසෙඩ් ලකුණු අනුව මේවාටද සිසුන්’ ඇතුළත් කරගැනීම පිණිස නීති සකස්කරගත හැකි වන බවද ඇමැතිවරයා කීවේ ය.

එම විශ්ව විද්‍යාල පීඨසඳහා මුදල් අයකරන බවත් එසේ මුදල් ගෙවිය නොහැකි සිසුන් සියයට විස්සක් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීමට එම පීඨ කටයුතු කරන බවත් ඇමැතිවරයා පැවැසීය.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට පැමිණ ඉගෙනීම සඳහා චීනය හා මැද පෙරදිග රටවල සිසුන්ගෙන් ඉල්ලීම් තිබෙන බවද කී ඇමැතිවරයා දැනට මෙරට විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන විදේශ සිසුන් ගණන .5%ක බවත් මෙය සියයට 5ක් දක්වා වැඩි කරගතහොත් එමගින් ලැබෙන ආදායම විශ්වවිද්‍යාල දියුණුවට යොමු කළ හැකි බවත් කීය.

ජාත්‍යන්තර ආයතනවලට අනුබද්ධව උපාධි පිරිනැමෙන ආයතන 78ක් ඇත. මේ ආයතන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අතර සබඳතාවක් නැත. මේ ආයතනවල කටයුතුª පරීක්ෂා කරගෙන යන බැවින් ගුණාත්මක පහසුකම් ඉහළ දැමීමට මෙන්ම අමාත්‍යාංශය සහ ප්‍රතිපාදන කොමිෂම සමඟ එක් වී වැඩ කිරීමට ද අවස්ථාව ලැබෙනු ඇතැයි ද ඇමැතිවරයා කීවේ ය.

ඇමැතිවරයා එම අදහස් පළ කෙළේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ දී ඊයේ (7) සවස පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා