මෙරට නිපදවූ බී. ටී. අයි. බැක්ටීරියාව ලියාපදිංචි කළ සැනින් ඩෙංගු මර්දනයට

මෙරට නිපදවූ බී. ටී. අයි. බැක්ටීරියාව ලියාපදිංචි කළ සැනින් ඩෙංගු මර්දනයට

දේශීයව නිෂ්පාදනය කරන ලද බී. ටී. අයි. බැක්ටීරියාව පළිබෝධනාශක කාර්යාලයේ ලියාපදිංචි කළ වහාම ඩෙංගු මර්ධනයට යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මේ බැක්ටීරියාව සඳහා පූර්ණ ලියාපදිංචිය ලැබීමෙන් පසුව වෙළෙඳ පොළට නිකුත් කිරීමට කටයුතු කරන බව ද ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණික ආයතනයේ පර්යේෂණ නිලධාරිනී වෛද්‍ය රාධිකා සමරසේකර මහත්මිය පැවැසුවාය.

දැනට බී. ටී. අයි. බැක්ටීරියාව ලියාපදිංචි කිරීම පොරොත්තු ලේඛනයේ තිබෙන බවද, මසකට මේ බැක්ටීරියාව ලීටර් 18,000ත්, 20,000ත් අතර ප්‍රමාණයක් බයෝ පවර් ලංකා සමාගම විසින් දේශීයව නිෂ්පාදනය කරනු ලබන බවද ඇය ප්‍රකාශ කළාය. ‘දිනමිණ’ කළ විමසීමකදී ඇය, මේ බව ප්‍රකාශ කළාය. මේ බැක්ටීරියාව ලියාපදිංචි කළ වහාම මිලිලීටර් 100ත් 200ත් අතර ප්‍රමාණයකින් යුක්ත බෝතල් වෙළෙඳ පොළට නිකුත් කරන බවත්, පහසු මිලකට එය ජනතාවට ලබා ගත හැකි බවත් වෛද්‍ය රාධිකා මහත්මිය කීවාය.

ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණික ආයතනයේ තාක්ෂණය, ගිවිසුමක් හරහා වසර පහකට බයෝ පවර් ලංකා සමාගමට පවරාදීම නිසා මේ බැක්ටීරියාව එම සමාගමෙන් නිෂ්පාදනය කිරීම සිදුකෙරේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා