සිසුන් 21,111කට මෙදා සරසවි වරම්

සිසුන් 21,111කට මෙදා සරසවි වරම්

මේ වසරේ විශ්වවිද්‍යාල සඳහා සාමාන්‍ය ප්‍රවේශය යටතේ සිසුන් 21,111 ක් ඇතුළත් කර ගැනීම සඳහා අවම ඉසෙඩ් ලකුණු නිකුත් කැරේ.

මෙවර වැඩිම සිසුන් පිරිස එනම් 3802 ක් ඇතුළත් කර ගන්නේ කලා පාඨමාලාවට ය. කළමනාකරණ පාඨමාලාවට 3270 ක්ද, භෞතික විද්‍යා පාඨමාලාවට 1715 ක්ද, ඉංජිනේරු පාඨමාලාවට 1223 ක්ද, වෛද්‍ය විද්‍යා පාඨමාලාවට 1147 ක්ද ඇතුළත් කර ගැනීමට නියමිතය.

විශ්වවිද්‍යල ප්‍රතිපාදන කොමිෂම ඊයේ (7) සවස එම අවම ඉසෙඩ් ලකුණු නිකුත් කළේය.

සියලුම විශ්වවිද්‍යාලවල සියලුම පාඨමාලාවලට සිසුන් ලබන ඔක්තෝබර් මාසයේ දී ඇතුළත් කර ගන්නා බව උසස් අධ්‍යාපන ඇමැති  එස්. බී. දිසානායක මහතා කියයි. යාපනය විශ්වවිද්‍යාලයේ සියලුම පීඨ සඳහා දිගුකලකට පසු සිසුන් ඇතුළත් කර ගන්නවා පමණක් නොව එහි සිට ඔවුන්ට ඉගෙනීමේ අවස්ථාව ද ලැබෙන බවත් කොටි ත්‍රස්තවාදය නිමකිරීම නිසා ඒ තත්ත්වය උදාවූ බවත් පැවැසූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපති මහාචාර්ය ගාමිනී සමරනායක මහතා එම සාමකාමී වාතාවරණය උදාකර දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් ආරක්ෂක අංශවලටත් ස්තුති කරන බව කීවේය.

පාඨමාලා 98 ක් සඳහා මේ සිසුන් ගණන ඇතුළත් කර ගැනේ. ඉදිරි කාලයේ දී විශේෂ ඇතුළත් කිරීම් අනුව මේ ප්‍රමාණය තවත් දෙදහසකින් පමණ වැඩිවනු ඇතැයිද ඇමැතිවරයා පැවැසීය.

සියලුම විශ්වවිද්‍යාලවල නවක වදය සම්පූර්ණයෙන්ම නැවැත්වීමට ක්‍රියාකරන බවත් ඒ සඳහා අධ්‍යයන, අනධ්‍යයන, ජ්‍යෙෂ්ඨ සිසුන්, නවක සිසුන් හා දෙමාපියන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා කීවේය. ඇමැතිවරයා එසේ පැවසුවේ 2010 වසරට විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කිරීමේ අවම ඉසෙඩ් ලකුණු නිකුත් කිරීම වෙනුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ ඊයේ (7) පැවැති ජනමාධ්‍ය හමුවේදීය.

නවක වදය රහසිගතව හෝ සිදු කිරීමට ඉඩ නොදෙන බව අවධාරණය කරන ඇමැතිවරයා එවැනි අවස්ථා හසුවුවහොත් දඬුවම් පැමිණවීමට විශ්වවිද්‍යාල බලධරයන් ක්‍රියාකරනු ඇතැයිද කීවේය.

මේ අවස්ථාවට උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ ලේකම් තිස්ස නන්දසේන මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද සහභාගි වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා