ශ්‍රී ලංකාවට අහිමිවී ගිය අවස්ථාවන් යළි ලබා ගැනීම වත්මන් රජයේ අරමුණයි

ශ්‍රී ලංකාවට අහිමිවී ගිය අවස්ථාවන් යළි ලබා ගැනීම වත්මන් රජයේ අරමුණයි

- විදේශ ඇමැති මහාචාර්ය ජී. ඇල්. පීරිස්

මීට දශක දෙකකට ඉහත දී ශ්‍රී ලංකාවේ පැවැති ආර්ථික සංවර්ධනය පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සංවර්ධනය කරා යන ගමනට ආදර්ශයක් වූ බව විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කරයි.

එසේ පැවැති සංවර්ධනය පසුගිය කාලය තුළ පරිහානිය කරා ගමන් ගත් බවත් වර්තමාන රජයේ උත්සාහය අපිට අහිමි වී ගිය අවස්ථාවන් යළි අත්පත් කැර ගැනීම බවත් ඒ මහතා අවධාරණය කරයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කැර ඇත්තේ සිංගප්පූරුවේ පැවැති ආසියානු කලාපීය ආරක්ෂණ සමුළුව අමතමිනි. එහිදී වැඩිදුරටත් කතා කළ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා-උතුරේ අභ්‍යන්තර වශයෙන් අවතැන් ජනතාවගේ ජීවිත යළි නඟා සිටුවීමට හා ඔවුන්ගේ ගැටලු සොයා බැලීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ කොමිසමක් පත් කැර තිබෙනවා.

හුදෙක්ම එය අවතැන් වූ ජනතාවට නැඟිටීම සඳහා අවස්ථාවක් ලබා දීමටයි. මේ කොමිසම ආරම්භ කෙළේ දකුණු අපි‍්‍රකාවේ ආරම්භ කළ කොමිසමක ආදර්ශය අරගෙනයි. මේ කොමිසමේ අරමුණ කිසිවකුට චෝදනා කිරීම, දඬුවම් ලබාදීම, සම්බාධක පැනවීම හෝ නොව සාධාරණත්වය හා නැවත ප්‍රතිෂ්ඨාපනයයි. රජයේ අධිෂ්ඨානය වන්නේ සියලු සම්පත් යොදාගෙන නැවත පදිංචි කිරීම අති සාර්ථක ලෙස අවසන් කිරීමටයි. රටේ ගැටලුවල අවසාන විසඳුම යුද්ධය කියා කිසිවිටෙකත් රජය සිතන්නේ නැහැ.

ජනතාවගේ හදවතින් නැඟෙන ගැටලුවලට විසඳුම දේශපාලනමය මුහුණුවරක් ගත යුතු වෙනවා. අපේ රජය දෙමළ දේශපාලන පක්ෂ නායකයින් සමඟ නිරන්තරයෙන් සාකච්ඡා කරනවා. ජාතික මට්ටමින් වැදගත් වන කරුණු පිළිබඳව අද සාකච්ඡා කරනවා.

දශක දෙකකට වැඩි කලක් ශ්‍රී ලාංකිකයන් පීඩා විඳි වේදනාත්මක තත්ත්වයෙන් මිදී මිනිසුන්ගේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම එක්තරා විදියකින් ශ්‍රී ලංකාවට අභියෝගයක්. එදා කීවේ අද වනවිට අවතැන්වූවන් 297000කගෙන් සියයට 80ක ප්‍රමාණයක් නැවත පදිංචි කිරීමට හැකි වී තිබෙනවා. අද අපි පෞද්ගලික අංශය සමඟ එක්ව ඉතාම ළඟින්ම වැඩ කරගෙන යනවා.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා