ගාල්ල බස් නැවතුම්පළේ ඉදිකිරීම් වැඩ ලහි ලහියේ

ගාල්ල බස් නැවතුම්පළේ ඉදිකිරීම් වැඩ ලහි ලහියේ

2004 සුනාමි රළ පහරින් මුළුමනින්ම විනාශයට පත් වූ ගාල්ල බස් නැවතුම් පොළ රුපියල් මිලියන තුන්සිය පනහක පමණ වියදමක් දරමින් අද ඉතා කඩිනමින් ඉදිවෙමින් පවතී.ගාල්ල මහ නගර සභාවේ මැදිහත්වීම හා උපදේශන මත ඉංජිනේරු කාර්යන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් එහි සියලු ඉදිකිරීම් සිදු කරමින් පවතී. ඉතා අලංකාර ලෙස ගාල්ලේ පෞරාණික බව ඔප් නංවන ආකාරයට මෙහි සියලු ඉදිකිරීම් සිදු කෙරේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා - සුනාමි රළ පහරින් විනාශ වුණු ගාල්ල නව බස් නැවතුම් පොළ මේ දිනවල ඉතා ඉක්මනින් ඉදි කරනවා. අපි හිතුවටත් වඩා ඉක්මනට මෙම ඉදිකිරීම් මේ වන විට සිදු කරලයි තියෙන්නේ. මෙහි දෙමහල් ගොඩනැගිල්ලක් නාගරික සංවර්ධන අධිකාරියේ හා ගාලු උරුමයේ නීති රීති වලට අනුකූලවයි කරන්නේ. බස් නැවතුම් පොල පොළව මට්ටමේ ඉදල උපරිම උස මීටර් 10 යි. මෙහි ගුවන් පාලම් තැන් දෙකකට වැටෙනවා.

වැඩබිම බාර ප්‍රධාන ඉංජිනේරු අනුර කුමාර ජයලත් මහතා - අපි මේ වැඩබිම පටන් ගත්තේ ගිය අවුරුද්දේ නමවෙනි මාසේ විසි ගණන් වල. ඒ අනුව මාස හයක් ඇතුළත මේ වැඩ කොටස නිම කිරීමට අපි සැලසුම් කළා. ඒ අනුව 2011 අප්‍රේල් පළමු වෙනිදා වන විට මෙහි සියලු වැඩ නිම කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ දිනවල අපි දවල් රාත්‍රී දෙකේම වැඩ කරනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ඉක්මනින් මෙම වැඩබිමෙහි වැඩ කොටස් අවසන් කිරීමට.
 

ඉදිවෙමින් පවතින ගාල්ල බස් නැවතුම්පළ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා