මස්විල දැව තාක්‍ෂණ පුහුණු පාසලෙන් ප්‍රයෝජනයක් නොගෙන වසා දමලා

මස්විල දැව තාක්‍ෂණ පුහුණු පාසලෙන් ප්‍රයෝජනයක් නොගෙන වසා දමලා

බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුවට අයත් බණ්ඩාරගම රඹුක්කන මස්විල පිහිටි දැව තාක්ෂණ පුහුණු ආයතනය වසා දමා දැනට වසර 1 1 / 2 ක් පමණ ගතවී ඇති අතර එහි වටිනා භෞතික සම්පත් ප්‍රයෝජනයට නොගෙන නාස්තිවීමට ඉඩ දෙන්නේ මන්දැයි ප්‍රදේශවාසීහු විමසති.වසර 70 කට පමණ ඉහත ස්ථාපිත කෙරුණ මේ පුහුණු මධ්‍යස්ථානයෙන් ප්‍රදේශයට විශාල සේවාවක් ඉටුවුණි.

හිටපු ප්‍රාදේශීය සභා උප සභාපති නැසීගිය වික්ටර් පීරිස් මහතාගේ මූලිකත්වයෙන් මෙහි ගොඩනැඟිලි අලුතෙන් ඉදිකර ඇත. ජල විදුලිය සහිත මේ මධ්‍යස්ථානයේ කාර්යාලය හා ගබඩා කාමරය සහිත කාමර දෙකක් හා ශාලාවක් ද ජල විදුලි පහසුකම් ද වටිනා යන්ත්‍රෝපකරණ ද තිබේ. මධ්‍යස්ථානය බාර නිලධාරියෙක් මෙන්ම මුරකරුවන් දෙදෙනෙක් ද මෙහි දැනට සේවය කරන නමුත් මේ වන විට එක සිසුවෙක්වත් නොපැමිණෙන බව ඔවුහු පවසති.

වසා දමා ඇති දැව තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානය

ඩබ්ලිව්. පියවති පෙරේරා මස්විල - දැනට අවුරුදු 50 කට වැඩියි මේ මධ්‍යස්ථානයට. අපේ මාම කෙනෙක් පර්චස් 10 ක් දුන්නා වඩු ඉස්කෝලෙ හදන්න. ඉස්සර හොඳට ළමයි ආව. හොඳ ප්‍රයෝජන ගත්තා. රෑට එක්කෙනයි දවල්ට එක්කෙනයි මුරට ඉන්නව. මහත්තයත් එනව. ඒ වුණාට දැන් සිසුන් එන්නේ නෑ.

වී. ඩබ්ලිව්. කුසුමලතා - ගෑනු ළමයින්ට මැහුම් මධ්‍යස්ථානයක් තිබුණා. ඒකත් වැහිලම ගියා. ඉගෙන ගන්න කොට දරුවන්ට දීමනාවක් ගෙව්වා. ගමට අවශ්‍යම දෙයක්. මේ වහල දාන්න නෙමෙයි මේක දියුණු කරන්න කියල අපි ඉල්ලනව.

ඩබ්ලිව්. අබේසිංහ පිරිස් - 1969 මගෙ මුල්ම පත්වීම තමයි ඔය පාසල. ඒ කාලේ ළමයි 23 ක් විතර හැම අවුරුද්දෙකම හිටිය. ළමයින්ට පුහුණුවක් දෙන අතරෙ 60% ක් පඩියට අමතරව ආදායමෙන් දුන්න. පළාත් සභා ක්‍රමය ආවට පස්සෙ පාසලට ලැබෙන ඇනවුම් අඩු වුණා. ළමයි උදාසීන වුණා. ඒ කාලේ අත් ආයුධ පාසල්වලින් ලංකාවෙ දෙවෙනි තැනට තේරුණා.

ලොකු වියදමක් කරල ගොඩනැඟිලිත් හදල දැනට අවුරුදු තුන හතරක් වෙනව. ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානය විදියට ප්‍රයෝජනයට ගන්නෙත් මේ ශාලාවයි. අපටත් හරි කනගාටුයි නිරපරාදෙ මේ වගෙ වටිනා සම්පත් විනාශ වෙන එක ගැන. මං කීප සැරයක් ප්‍රාදේශීය සභාවෙන් පළාත් සභාවෙන් ඉල්ලීම් කළා. ඒත් සාර්ථක ප්‍රතිචාරයක් ලැබුණෙ නෑ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා