මාවනැල්ල ලංගම ඩිපෝවේ ප්‍රගතිය සතුටුදායකයි

මාවනැල්ල ලංගම ඩිපෝවේ ප්‍රගතිය සතුටුදායකයි

මාවනැල්ල ලංගම ඩිපෝවේ අද ලබා ඇති ප්‍රගතිය ගැන කවුරුත් කතාබහ කරති.ඉකුත් අගෝස්තු මාසයේ පටන් මේ ඩිපෝවෙන් ධාවනය වෙන බස් රථ සෑම කිලෝමීටරයකින්ම රුපියලක ලාභයක් ලබාගෙන තිබේ. වසර හයකට පසුව මේ ඩිපෝව ලබා ඇති දියුණුව පිළිබඳව දේශපාලන නායකත්වයන් විසින් ද කරුණු සොයා බලා ඇති අතර මාවනැල්ල ආණ්ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායක ජ්‍යෙෂ්ඨ ඇමැති අතාවුද සෙනෙවිරත්න, නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති ලලිත් දිසානායක යන මහත්වරු ද ඩිපෝව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සොයා බලා එහි නව පාලකවරුන්ට කෘතඥතාව පුදකැර තිබේ.

ඩිපෝ කළමනාකරු හෙක්ටර් තිසේරා මහතා මෙසේ කීවේය.

 ඩිපෝ කළමනාකරු හෙක්ටර් තිසේරා

එදා මේ ඩිපෝවෙන් දිනකට ධාවනය වුණේ බස් රථ 35ක් පමණ. දැන් ඒ සංඛ්‍යාව 55ක් දක්වා වැඩිවෙලා. නමුත් මේ බස් රථ ධාවනය වන බොහෝ මාර්ග අබලන් තත්ත්වයක තිබෙනවා. එබැවින් බස් රථවලට හානි සිදුවෙනවා. එසේ කාර්මික දෝෂයන්ට ලක්වන බස් රථ ඇතැම් විටෙක එක දිනකින් ප්‍රතිසංස්කරණය කර ධාවනයට යොදවන්න පවා අතපසු වෙනවා. ඩිපෝවේ කාර්මික අංශයේ සේවකයෝ එවැනි අවස්ථාවලදී උපරිම කැපවීමෙන් සේවය කරනවා.

අබලන් තත්ත්වයට පත්වන බස් රථ නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කඩවත, ගම්පහ ඩිපෝවල සහායන් ද ලබාගන්නවා. නමුත් මේ ඩිපෝවේ වෙනත් ඉහළ තනතුරු හොබවන නිලධාරීහු පවසන්නේ ඩිපෝවේ රියැදුරු හා කොන්දොස්තරවරුන්ගේ හිඟයක් පවතින බවය.  එසේම මාර්ග බලපත් නොලබා අස්මඩල හා වෙනත් දුර බැහැර මාර්ගවල පෞද්ගලික බස් රථ ධාවනය කරනු ලබන නිසාද මාවනැල්ල ලංගම ඩිපෝවට ලැබෙන ආදායම් නොලැබෙන තත්ත්වයක් පවතින බව ද ඔව්හු කියති.
 

 ප්‍රතිසංස්කරණය කළ බස් රථ කිහිපයක්.
ඡායාරූප – මාවනැල්ල සමූහ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා