ලීනා අවසන් පූර්ව වටයට

ලීනා අවසන් පූර්ව වටයට

ජර්මනියේ ඇන්ඩ්‍රියා පෙට්කොවික් ලකුණු 6 – 2 ක් සහ 6 – 4 ක් ලෙස පරාජයට පත් කළ චීනයේ ලී නා සිය රටෙහි කුළුඳුල් ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළේ බලාපොරොත්තු ඉහළ දමමින් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් සූරතාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට පිට පිට දෙවැනි වතාවටත් සමත් වූවාය.

චීනයේ අංක 1 ක්‍රීඩිකාව වන ලී නා කෙරෙහි එරට ක්‍රීඩාලෝලීහු බලාපොරොත්තු දෑසින් යුතුව බලා සිටිති. ”මගේ මව්බිමට කුළුඳුල් ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළ හිමිකර දීමට මට ඇත්තේ තවත් පියවර 2 ක් පමණයි. නමුත් ඒක කියන තරම් ලේසි නෑ” ජයග්‍රහණයෙන් අනතුරුව ලී නා පැවසුවාය.

අවසන් පූර්ව තරගයේදී ලී නා ට තරග වැදීමට සිදුව තිබෙන්නේ ජාත්‍යන්තර ටෙනිස් පිටියේ අංක 1 ක්‍රීඩිකාව වන ඩෙන්මාර්කයේ සුරුපිණිය වූ කැරොලින් වොස්නියෑකි සමඟයි. වොස්නියෑකි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ ඉතාලියේ ෆ‍්‍රැන්සිස්කා චියාවොනි ලකුණු 3 – 6 ක්, 6 – 3 ක් සහ 6 – 3 ක් වශයෙන් පරාජයට පත්කරමිනි.

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමත් සමඟ තවදුරටත් ජගත් ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයේ රැඳී සිටීමට වොස්නියෑකි සමත් වූවාය. මේ අතර ස්ටැනිස්ලස් වවුරින්කා ලකුණු 6 – 1 ක්, 6 – 3 ක් සහ 6 – 3 ක් වශයෙන් පරාජයට පත් කළ සුපිරි ක්‍රීඩක රොජර් ෆෙඩරර් පිට පිට අටවැනි වතාවටත් මේ තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත් විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා