බස්නාහිර-කඳුරට අවසන් ගැටුම අද

බස්නාහිර-කඳුරට අවසන් ගැටුම අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවනු ලබන අන්තර් පළාත් එක්දින තරගමාලාවේ අවසන් මහා තරගය බස්නාහිර කණ්ඩායම හා කඳුරට කණ්ඩායම අතර අද (26) දිවා රාත්‍රී තරගයක් ලෙස ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. අවසන් පූර්ව වටයේදී රුහුණු කණ්ඩායම කඩුලු 7කින් පරාජය කිරීමට කඳුරට පිල සමත් වූ අතර වයඹ කණ්ඩායමට එරෙහිව ලකුණු 69 ක ජයක් අත් කර ගැනීමට බස්නාහිර පිල සමත් විය.

මූලික තරග වටයේදී තරග 4කට ක්‍රීඩා කළ වයඹ කණ්ඩායම ජයග්‍රහණ 3ක් අත්කර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වූ අතර කඳුරට, රුහුණ හා බස්නාහිර කණ්ඩායම් තරග 2 බැගින් ජය ගෙන තිබිණි. ඌව පිලට ජය ගත හැකි වූයේ එක් තරගයක් පමණි. මේ තරග මාලාවේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසු වන්නේ කඳුරට පිලේ නායක කුමාර් සංගක්කාරය. ඔහු තරග 5කදී අර්ධ ශතක 2ක් ද ඇතුලුව ලකුණු 211 ක් ලබා ගැනීමට සමත් විය.

වයඹ පිලේ දිනේෂ් චන්දිමාල් අර්ධ ශතක 2ක් සමඟ ලකුණු 204 ක් ද රුහුණු පිලේ සනත් ජයසූරිය අර්ධ ශතක 2ක් සමඟ ලකුණු 203ක් ද ලබා ගත්හ. තරගමාලාවේ වැඩිම කඩුලු ලාභියා වන්නේ වයඹ කණ්ඩායමේ චානක වෙලගෙදරය. ඔහු තරග 5 කදී ලකුණු 196 කට කඩුලු 10ක් දවා ගැනීමට සමත් විය. කඳුරට පිලේ චමින්ද විදාන පතිරණ තරග 5කදී ලකුණු 114 කට කඩුලු 9ක් දවා ගත්තේ ය. කුමාර සංගක්කාර කඳුරට පිලේ නායකත්වය දරන අතර බස්නාහිර කණ්ඩායම තිලකරත්න ඩිල්ෂාන් මෙහෙයවනු ලබයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා