‘කාල්ටන්’ ක්‍රීඩා තරගාවලිය 28 දා ඇරැඹේ

‘කාල්ටන්’ ක්‍රීඩා තරගාවලිය 28 දා ඇරැඹේ

ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයට නවමු අත්දැකීම් සමුදායක් සමඟ කාල්ටන් සුපර් ස්පෝර්ට්ස් ක්‍රීඩා තරගාවලිය මේ මස 28 – 30 දිනවලදී තිස්සමහාරාමයේ Carlton Racine Track  හිදී පස්වැනි වරටත් පැවැත්වේ. අයහපත් කාලගුණය හේතුවෙන් තිස්සමහාරාමය ප්‍රදේශයේ පැවැති වාතාවරණය මත තරගාවලිය පැවැත්වීමේ දින වකවානු අවිනිශ්චිතව තිබුණද නැවත කාලගුණ තත්ත්වයන් යහපත් අතට පත්වීම හේතුවෙන් මේ තරගාවලිය 28, 29 හා 30 යන තෙදින පැවැත්වීමට කටයුතු යෙදිණි.

මේ මස 28 වන දින පෙරවරු 9.00 x 4 x 4 ජීප් රථ රැළිය කොළඹ ගී‍්‍රන් පාත්වලින් ආරම්භ වන අතර ගාලු පාර ඔස්සේ රථ පෙරහර තිස්සමහාරාමය දක්වා ගමන් කෙරේ. 4 x 4 ජීප් රථ තරගයේදී නවීකරණය කරන ලද ජීප් රථ හා සෆාරි ධාවනය වන ජීප් රථ සඳහා වෙන වෙනම තරග පැවැත්වේ. 4 x 4 ජීප් රථ තරග ද 29 දා පැවැත්වීමට නියමිතය. මෙදින ඉලක්කයට වෙඩි තැබීමේ පිස්තෝල තරගය හා කඳු තරණය කිරීමේ පාපැදි තරගය ද පැවැත්වේ.

තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවට එක්වූ ජනක ශ්‍රී වර්ණසිංහ (තාරුණ්‍යයට හෙටක් ජාතික සංවිධායක), රොනි ඉබ්‍රයිම් යන (තාරුණ්‍යයට හෙටක් අධ්‍යක්‍ෂ) මහත්වරු මෙහි වෙති.
ඡායාරූපය - සුදත් මලවීර

පළමු දිනයේදී පැරෂුට් සංදර්ශන හා පොලිස් සුනඛ සංදර්ශනයක් ද පැවැත්වේ. මවුන්ටන් පාපැදි තරගය සඳහා තරගකරුවන් ලියාපදිංචි කිරීම 27 දා සිදුවන අතර තිස්සමහාරාම කන්දේ විහාරයේදී එදින පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා සිදුකෙරේ. මෙවර තරගාවලිය වයස් කාණ්ඩ කිහිපයකින් පැවැත්වේ. අවුරුදු 10 න්, 13 න්, 16 න්, 19 න් පහළ විවෘත හා අවුරුදු 40 ට වැඩි ප්‍රවීණයන්ගේ තරග කාන්තා පිරිමි දෙඅංශයෙන්ම පැවැත්වේ. ජයග්‍රාහකයන් සඳහා රුපියල් 400,000 මුදල් ත්‍යාග පිරිනැමේ.

ශ්‍රී ලංකාවේදී ප්‍රථම වතාවට මේ 29 වන දින පැවැත්වෙන ත්‍රික ප්‍රයාම තරගාවලියක් මෙවර මේ ක්‍රීඩා තරගාවලියේදී පැවැත්වෙන අතර මේ තරගාවලිය වෙනුවෙන් ඉදිරිපත් වන තරගකරුවන් පළමුව මීටර් 750 ක් පිහිනිය යුතු අතර කිලෝමීටර් 20 ක් පාපැදි තරගයට ද, කිලෝමීටර 5 ක දුරින් යුත් මැරතන් තරගයට ද සහභාගි විය යුතුය. මේ තරග ඉසව් තුනම අඩුම කාලයකින් නිමාකරන තරගකරු ජයග්‍රාහකයා වන අතර පිළිවෙළින් ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන සඳහා රුපියල් 100,000 ක්, රුපියල් 50,000 ක් සහ රුපියල් 25,000 ක් පිරිනැමේ. විවෘත තරගයක් වන මේ සඳහා කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම සහභාගි විය හැකිය.

කඹ ඇදීමේ තරගය ද මෙදින පැවැත්වෙන අතර කිලෝග්‍රෑම් 640 බර පංතිය වන අතර උදෑසන 9.00 බර කිරීම ආරම්භ වේ. පිරිමි කණ්ඩායම්වලට පමණක් විවෘත මේ තරගාවලිය සඳහා දිවයිනේ දක්‍ෂ කඹ ඇදීමේ කණ්ඩායම් රැසක් ඉදිරිපත් වී සිටී. මේ තරගයේ ජයග්‍රාහකයනට පිළිවෙළින් රුපියල් 50,000 ක්, රුපියල් 35,000 ක් හා රුපියල් 25,000 ප්‍රදානය කෙරේ. සුළං ඔරු, රුවල් ඔරු හා ජල ක්‍රීඩා තරග සඳහා ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැඩි උද්යෝගයක් දක්වන අතර ජාත්‍යන්තර තලයේ දස්කම් දැක්වූ ක්‍රීඩකයන් රැසක් ද මෙවර තරගාවලිය සඳහා ඉදිරිපත්ව සිටී.

විදේශීය ක්‍රීඩකයන් රැසක් ද ඉදිරිපත්ව සිටින බැවින් ජාත්‍යන්තර නීති රීතිවලට අනුකූලව සියලු තරග පැවැත්වෙන බව සංවිධායක කමිටුව පැවසීය. තරගවලට අමතරව ජල ක්‍රීඩා සංදර්ශන ද පැවැත්වේ. අවසන් දිනය වන 30 වනදා මෝටර් රථ හා යතුරුපැදි තරග පැවැත්වෙන අතර මේ තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය ද ස්ථිර බව හා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට මෙවර හොඳ තරගයක් විදේශීය ක්‍රීඩකයන්ගෙන් බලාපොරොත්තු විය හැකි බව ද සංවිධායකයන් පැවසීය.

තරග පැවැත්වෙන දිනයන් හිදී නිමාවට පත්වන තරගවලින් ජයග්‍රහණය කරනු ලබන ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට එදිනම ත්‍යාග ප්‍රදානය කරනු ලබන අතර සියලු තරග අවසානයේදී සන්ධ්‍යාවේදී දිවයිනේ ජනපි‍්‍රය සංගීත කණ්ඩායම් සංගීතය සපයන ජනපි‍්‍රය ගායන ශිල්පීන් සහභාගි වන සංගීත ප්‍රසංග පැවැත්වේ. දිවයිනේ දැවැන්තම ක්‍රීඩා සැණකෙළියක් වන මේ අවස්ථාව නැරඹීම සඳහා ප්‍රේක්‍ෂකයන්ට හොඳ අවස්ථාවක් බවත්, තරගාවලියේ ත්‍රික ප්‍රයාම තරග සඳහා සහභාගි වන තරගකරුවනට නවාතැන් පහසුකම් සැපයීමට සංවිධායක කමිටුව බලාපොරොත්තු වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා