රිසානා රට යැවූ ඒජන්සිකරු අත්අඩංගුවට

රිසානා රට යැවූ ඒජන්සිකරු අත්අඩංගුවට

සෞදි අරාබියේ මරණ දඬුවමට නියම වී සිටින රිසානා නෆික් ට විදේශගත වීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කර කොළඹට ගෙන ආ ඒජන්සිකරුවකු හා ඔහුට උදව් දුන් පුද්ගලයා රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.එක් පුද්ගලයෙක් බේරුවලින් අත්අඩංගුවට ගත් අතර අනෙක් පුද්ගලයා කල්මුනේ ප්‍රදේශයේ පදිංචි අයෙකි. කල්මුණේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අවස්ථා කිහිපයකදී රිසානා කොළඹට ගෙනවිත් තිබේ. බේරුවල උප ඒජන්සිකරුවා රිසානාගේ ව්‍යාජ ලිය කියවිලි සකස් කර තිබේ.

එම ලියකියවිලි සකස් කර ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ව්‍යාජ ලියකියවිලි සකස් කරන ස්ථානයකින් බවත් එය පවත්වාගෙන ගිය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත. රිසානා පමණක් නොව මේ ඒජන්සිකරුවන් විසින් රිසානා මෙන් බාල වයස්කාර තවත් දැරියන් සහ වයසින් වැඩි අයගේද වයස් සීමාවන් වෙනස් කර විදේශ රටවල ගෘහ සේවයට යවා ඇති බවට තොරතුරු ලැබී තිබේ. ඒ අනුව මේ ගැන සොයා බැලීම සඳහා රහස් පොලිසියේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් පෙරේරාගේ උපදෙස් මත විශේෂ කණ්ඩායමක් යොදවනු ලැබිණි.

මෙසේ ව්‍යාජ ලිය කියවිලි හරහා ඔවුන් විදේශ රටවලට යැවීමට එම ඒජන්සිකරුවන් විශාල වශයෙන් මුදල් අය කර තිබේ. මොවුන් මෙසේ විදේශ රටවලට යැවූ සෙසු පිරිස් හඳුනා ගැනීමට ද ඉදිරියේදී පරීක්ෂණ පැවැත්වෙයි. රිසානා විදේශගත කල ඒජන්සිය මේ වන විට තහනම් කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ පස්වරුවේ කොළඹට ගෙනවිත් රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතව තිබුණි. රහස් පොලිසිියේ නියෝජ්‍ය පොලිස්පති ජයන්ත කුලතිලක අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් පෙරේරා මහත්වරුන් ගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා