තරු හෝටලයකින් ආහාර ගත් විශේෂඥ වෛද්‍යවරු රෝගාතුරව රෝහලේ

තරු හෝටලයකින් ආහාර ගත් විශේෂඥ වෛද්‍යවරු රෝගාතුරව රෝහලේ

* විදෙස් වෛද්‍යවරුන්ද ඒ අතර

* හෝටලයට වසරේ බලපත්‍රය නැහැ

කොළඹ තරු පහේ හෝටලයකින් ආහාර ගත් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් රෝගාතුර වී රෝහල් ගතකර තිබේ. මෙසේ ආහාර විෂ වූ වෛද්‍යවරුන් අතර විදේශීය වෛද්‍ය වරුන් ද සිටින බව දැනගන්නට තිබේ.කොළඹ තරුපහේ හෝටලයක වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය සංවිධාන කළ සමුළුවකට සහභාගි වූ වෛද්‍යවරුන් මෙසේ රෝගාතුර වී සිටිති. වෛද්‍යවරුන් සමඟ ආහාර ගත් අය අතර ඔවුන්ගේ අඹු දරුවන්ද සිටින බව වාර්තා වෙයි.

මීට කලින්ද මෙම හෝටලයෙන් ආහාර ගත් වෛද්‍ය කණ්ඩායමකටද ආහාර විෂ වූ බවද දැනගන්නට තිබේ. මේ සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් මහතාගෙන් දිනමිණ කළ විමසුමකදී ඔහු කියා සිටියේ එම තරු පහේ හෝටලය මෙම වසරට වෙළෙඳ බලපත්‍රයක් ලබාගෙන නොමැති බවයි. මේ ගැන තම දෙපාර්තමේන්තුව කීප වතාවක්ම සිහිපත් කළ බව කාරියවසම් මහතා කීය.

මෙම තරු පහේ හෝටලය භාරව සිටින වෛද්‍යවරයා ආහාර විසවීම ගැන තම දෙපාර්තමේන්තුවට වාර්තා කර නොමැති බවද වෛද්‍ය කාරියවසම් මහතා කියයි. ආහාර පනතේ නීතිරීති උල්ලංඝනය කර ඇති බැවින් හෝටල භාර වෛද්‍යවරයා ගැන වෛද්‍ය සභාවට වාර්තා කිරීමට පියවර ගන්නා බව ද ඒ මහතා කියයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා