යක්කල රිය අනතුරින් එකම පවුලේ 3ක් මරුට

යක්කල රිය අනතුරින් එකම පවුලේ 3ක් මරුට

තිදෙනකුට බරපතළ තුවාල
 

ගම්පහ යක්කල මහවිට කිරිකඩේ වංගුව ප්‍රදේශයේදී ඊයේ (16) උදෑසන මෝටර් රථයක් මගී ප්‍රවාහන බස් රියක ගැටීමෙන් එකම පවුලේ තිදෙනකු එම ස්ථානයේම මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ ප්‍රගති මාවත පහළ වැව කහතුඩුව ලිපිනයේ පදිංචිව සිටි එම්.එස්.රොෂාන් පෙරේරා (39), (සැමියා) සුභාෂිණී උඩුගම (37) (බිරිය) සහ රන්දුල දිමන්ත පෙරේරා (2) (පුතා) බව ගම්පහය රෝහල් පොලිසිය පවසයි.

ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව තුවාල ලැබූ පුද්ගලයන් වහාම ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ. තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනා අතර මියගිය යුවළගේ වැඩිමහල් පුතාද සිටින අතර ඔහුගේ වයස අවුරුදු අටකි.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ ජූඩ් ප්‍රේමචන්ද්‍ර (60) , කේ.කේ. ප්‍රනාන්දු (60), මන්ත්‍රිල පෙරේරා (08) නමැති අයයි. මෝටර් රථයේ ගමන් ගත් පිරිස වන්දනා ගමනක යමින් සිට ඇතැයි පොලිසිය පවසයි. මගී ප්‍රවාහන බස්රථය මාවතගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබී ඇත.  අනතුරට පත් මෝටර් රථය වෑන් රියකට ඉස්සර කරගෙන යාමට උත්සහ කර ඇති බවත් එම අවස්ථාවේ එම වෑන් රියේ ගැටී පසුව මගී ප්‍රවාහන බස්රියේ ගැටී ඇති බවත් සිද්ධිය ඇසින් දුටු අය පොලිසියට පවසා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් දයානන්ද මහතාගේ උපදෙස් පරිදි රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.පි‍්‍රයන්ත මහතාගේ මෙහෙයවීමෙන් වැරැල්ල වත්ත පොලිස් මුර පොලේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චන්ද මහතා පරීක්ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා