සමහර මාධ්‍ය පළකළ පුවත් නිසා රණවිරු ධෛර්යය බිඳ වැටුණා

සමහර මාධ්‍ය පළකළ පුවත් නිසා රණවිරු ධෛර්යය බිඳ වැටුණා

ආරක්ෂක ලේකම්

ආරක්ෂක හමුදා සෙබළුන්ගේ කැපවීම හා ශක්තිය මත යුද්ධය ජයග්‍රහණය කිරීමට හැකිවූ බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගල්කිස්ස ප්‍රධාන දිසා විනිසුරු හමුවේ කියා සිටියේය. සමහර මාධ්‍ය ආරක්ෂක විශේෂාංග ඔස්සේ කියා සිටියේ යුද්ධය ජය ගන්නට බැරි බවයි. එවැනි පුවත් නිසා ආරක්ෂක රණවිරුවන්ගේ ධෛර්යය බිඳ වැටුණු බවද රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් කීය. ලීඩර් පබ්ලිකේෂන් ආයතන මගින් පළකළ සන්ඩේ ලීඩර් පත්‍රයේ පළවූ වාර්තා වලින් තමන්ගේ චරිතයට අපහාස වූ බව පවසමින් ආරක්ෂක ලේකම්වරයා පවරා තිබූ වන්දි නඩුවේ සාක්ෂි දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉහත කරුණු අනාවරණය කළේය.

සන්ඩේ ලීඩර් පුවත්පතට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි ලබා දීමෙන් පසුව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගල්කිස්ස දිසා අධිකරණයෙන් පිටතට පැමිණි අයුරු. පැමිණිල්ලේ නීතිඥ අලි සබ්රි මහතා ද මෙහි වෙයි.

ඡායාරූපය - රුවන් ද සිල්වා

2006 වසරේදී වත්මන් රජය මිග් යානා මිලදී ගැනීමේදී අක්‍රමිකතා සිදුවූ බවත් ටෙන්ඩර් පරිපාටියට බැහැරව කටයුතු කළ බවත් සඳහන් ප්‍රවෘත්ති සන්ඩේ ලීඩර් පත්‍රයේ පළවූ බව මෙම වන්දි නඩුවෙන් කියැවිණි. සත්‍ය තත්ත්වය විකෘති වන සේ ප්‍රවෘත්ති පළ කිරීමෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන දහසක වන්දියක් ඉල්ලා මෙම නඩුව පවරා තිබුණි. ප්‍රධාන දිසා විනිසුරු බී. එස්. මොරායස් හමුවේ මෙම නඩුව විභාග වෙයි.

පැමිණිල්ලේ නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ද කීය.ඇතැම් මාධ්‍යවල පළවූ වාර්තා නිසා රණවිරුවන්ගේ ධෛර්යය බිඳ වැටුණා. ඒ තත්ත්වයට මුහුණදීම සඳහා රජය ක්‍රියා කළා. ඒ අනුව ජනතාව හමුදාව කෙරෙහි විශ්වාසය ඇතිකර ගත්තා. ඒ නිසා වසර දෙක හමාරක් තුළ සෑම මසකම හමුදාවට 5000 බැගින් බැඳුණා. 1980 සිට ත්‍රිවිධ හමුදාව යුද්ධයට මුහුණ දී සිටියා. 2005 දී අප ත්‍රිවිධ හමුදාව විශාල පරිවර්තනයකට ලක් කළා.

රණවිරුවන්ගේ ඇතැම් ගැටළුවලට විසඳුම් නොදී ජයග්‍රහණ ලබන්නට බැරි බව අප තේරුම් ගත්තා. එම වකවානුවේ හමුදාව ගැන වැරදි මත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළා. සමහර චිත්‍රපටි ඒ සඳහා යොදාගත්තා. පදක්කම් ලැබූ සෙබළුන්ට අපහාස වන දේවල් පෙන්නුවා. ඇතැම් දර්ශන රණවිරුවන් හිඟාකන තත්ත්වයේ ඒවායි. හමුදාවට කෙඩෙට් නිලධාරියකු සේ බැඳී වසර 20ක කාලයක් නොයෙක් තනතුරු දරමින් මෙහෙයුම් කලාපවල රාජකාරි කළ බවත් ප්‍රකාශ කළ ආරක්ෂක ලේකම්වරයා තමන්ට නොයෙක් රාජ්‍ය නායකයන්ගෙන් ප්‍රශංසා ලැබුණු බවද කීය.

ශ්‍රී ලංකාවේ ජීවත්වන ජනතාවගේ ආදරයට සහ ගෞරවයට පාත්‍රවූ පරපුරක් ලෙස තමන්ගේ පවුලේ අය වසර ගණනාවක සිට රට තුළ හොඳ නමක් දිනා ඇති බවද ඒ මහතා කීය. රාජපක්ෂ මහතා පුරා පැය දෙකක් සාක්ෂි දුන්නේය. ඔක්තෝබර් 13 සහ 31 දිනයන්හි අධිකරණයේ යළි පෙනී සිටින ලෙස දිසා විනිසුරු නියෝග කළේය. විත්තිය වෙනුවෙන් ලාල් වික්‍රමතුංග මහතා අධිකරණයේ පෙනී සිටියේය. ලීඩර් පබ්ලිකේෂන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. සුමන්දිරන් මහතා පෙනී සිටියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා