වෛද්‍යවරයාගේ 11 හැවිරිදි පුතා ඩෙංගු උණ වැළඳී මරුට

වෛද්‍යවරයාගේ 11 හැවිරිදි පුතා ඩෙංගු උණ වැළඳී මරුට

බෝගම්බර බන්ධනාගාර රෝහලේ වෛද්‍ය නිලධාරිවරයකුගේ එකළොස් හැවිරිදි පුතකු ඩෙංගු උණ රෝගය වැළඳීමෙන් ඊයේ (23) සවස මිය ගියේය.

මහනුවර නගරයේ ප්‍රධාන පෙළේ පිරිමි විදුහලක හය වැනි වසරේ ඉගනුම ලැබූ මෙම සිසුවා ඩෙංගු රෝගී තත්ත්වයට පත්ව මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලට ඇතුළත් කැර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (23) සවස මියගොස් ඇත.

මහනුවර බෝගම්බර ළය චිකිත්ස්සාකාගාරය සමීපයේ පිහිටි මහනුවර මහ රෝහලේ වෛද්‍ය නිල නිවාස තුළ මෙම සිසුවා ඇතුළු පවුලේ අය පදිංචිව සිට ඇති අතර එම ප්‍රදේශයේ ඩෙංගු රෝගී අවදානම් ප්‍රදේශයක් බවට මේ වන විට සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබේ. උත්පලා ඉන්දුජ පෙරේරා නැමති මෙම සිසුවා පෙරේදා (22) මහනුවර මහරෝහලින් වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලට අතුළත් කැර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ සවස 1.00 ට පමණ මියගොස් ඇත.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මියගේ උපදෙස් මත සෞඛ්‍ය අංශ විශේෂ පරීක්ෂණයක් පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා