හොර නෝට්ටු අච්චු ගැසූ මහ කෙරුමා අල්ලාගනී

හොර නෝට්ටු අච්චු ගැසූ මහ කෙරුමා අල්ලාගනී

ව්‍යාජ ලෙස මුදල් මුද්‍රණය කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් රහස් පොලිසිය ඔහු විසින් මුද්‍රණය කළ රුපියල් ලක්‍ෂ තිහක පමණ මුදල් තොගයක්ද සොයාගෙන තිබේ.

දැනට මෙරටින් සොයාගත් විශාල වශයෙන් මුදල් මුද්‍රණය කරන දැවැන්තයා මොහු බව රහස් පොලිසිය හඳුනාගෙන ඇත.

අවුරුදු 27ක් වයසැති මෙම සැකකරු මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු මුදල් මුද්‍රණය කිරීමට යොදාගත් පරිගණක, ඇතුලු සෙසු උපකරණ රැසක්ද සොයාගෙන ඇත. මොහු මේ වනවිට ලක්‍ෂ පනහක පමණ මුදල් මුද්‍රණය කර ඇතැයි සැක කෙරේ.

මොහු මෙසේ මුද්‍රණය කර බෙදා හරින ලද මුදල් ලක්‍ෂ ගණනක් රට පුරා භාවිතයේ ඇති බව රහස් පොලිසිය කියයි.

ඒවා හඳුනා ගැනීම සඳහා මහජනයා දැනුවත් කිරීමටත් රහස් පොලිසිය බලාපොරොත්තු වෙයි.

සැකකරු බෙදා හරින ලද මුදල් මාරු කරමින් සිටි පුද්ගලයන් කිහිප දෙනකු මීට පෙර විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන තිබුණි. එහෙත් මොහු ඉතා සුක්‍ෂම ලෙස පොලිසිය මග හරිමින් සිටියේය.

මේ මුදල් නෝට්ටුවල දිය සළකුණ වූ සිංහයා ව්‍යාජ ලෙස මුද්‍රණය කර තිබේ. තවද ජී. 100, ජී/103 හා ජී 138 යටතේ එම නෝට්ටු මුද්‍රණය කර තිබේ.

මම මුදල් නෝට්ටු සාමාන්‍ය මුදල් නෝට්ටුවලට වඩා ඝනකමින් යුක්ත වෙයි.

සැකකරු ඊයේ ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 6 දක්වා රිමාන්ඩ් කර තිබේ.

රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති ජයන්ත කුලතිලක අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් පෙරේරා මහත්වරුන්ගේ උපදෙස් සහ අධික්‍ෂණය යටතේ රහස් පොලිසියේ ව්‍යාජ මුදල් ඒකකය පරීක්‍ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා