අකුරු කළ ගුරු මව මරා රන් බඩු මුදල් කොල්ල කාලා

අකුරු කළ ගුරු මව මරා රන් බඩු මුදල් කොල්ල කාලා

තමන්ට පාසලේ අකුරු කළ ගුරු මාතාව පිහියකින් කොටා ඝාතනය කර ඇගේ රන් බඩු සහ මුදල් කොල්ලකෑ බව කියන එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු හා තවත් අයකු මධ්‍යම පළාත් දිසා බුද්ධි හා තොරතුරු ඒකකය මගින් පෙරේදා (22) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර සහෝදරයන් අතරින් එක් අයෙකු හමුදාවෙන් පලාආ අයකු බව පොලිසිය පවසයි. ඝාතනයට ලක්වූ ආර්. එම්. බණ්ඩාර මැණිකේ (84) නමැති ගලගෙදර මුතුකෙළියාව වැරැල්ලගම පදිංචි කත තනිව ඇගේ නිවසේ වාසය කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් 17ත් හැවිරිදි තරුණයකු ද අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සැකකරුවන්ට ගුරු නිවස කොල්ලකෑම සඳහා ඔත්තු බලා ඇති බව පොලිස් පරීක්‍ෂණ මඟින් අනාවරණය වී තිබේ. සැකකරුවන් මියගිය ගුරු මාතාවගේ අසල්වැසියන් බවත්, ඔවුන් නිවස කොල්ලකෑමට පැමිණි අවස්ථාවේ හඳුනාගැනීම නිසා මේ ඝාතනය සිදුකර තිබෙන බවත් පොලිසිය පවසයි.

ඝාතනය සඳහා උපයෝගී කරගත් පිහිය සහ ලේ තැවරුණු සැකකරුවන්ගේ ඇඳුම් පොලිසිය සොයාගෙන ඇත. පසුගිය අගෝස්තු මස 07 දින ගුරුවරියගේ මළ සිරුර ඇගේ නිවසේ තිබී සොයාගත් අතර, ඇයගේ ඝාතනය ‘ගී‍්‍රස් යකා’ විසින් සිදු කළ බවට ප්‍රදේශය පුරා රාවයක් පැතිර ගොස් තිබිණි.

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල මහතාගේ උපදෙස් මත දිසා බුද්ධි හා තොරතුරු ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ටී. එම්. තෙන්නකෝන් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්‍ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා