හැමිල්ටන් ඇළට කාරය පෙරැළී 20 හැවිරිදි තරුණයෙක් මරුට

හැමිල්ටන් ඇළට කාරය පෙරැළී 20 හැවිරිදි තරුණයෙක් මරුට

ඒත්තුකාල සිට මීගමුව වෙරළ බලා ගමන් කළ මෝටර් රථයක් මීගමුව කනත්ත අසල හැමිල්ටන් ඇළට පෙරලීමෙන් බරපතල තුවාල ලැබූ 20 හැවිරිදි තරුණයෙක් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී (22) දින මිය ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ නො. 25 ගනේගොඩ කඳාන පදිංචිව සිටි ළිහිනිකඩු ආරච්චිගේ දොන් රචිත නැමැති තරුණයෙකි. මේ බව අනාවරණය වූයේ කොළඹ හදිසි මරණ පරීක්‍ෂණ උසාවියේ නාගරික හදිසි මරණ පරීක්‍ෂක එඩ්වඩ් අහංගම මහතා ඉදිරියේ පැවැති සාක්‍ෂි විභාගයකදීය.

එහිදී සාක්‍ෂිදුන් මිය ගිය අයත් සමග මෝටර් රථයේ ගමන්කළ ප්‍රදීප් සුසන්ත යන අය මෙසේ පැවැසීය. මිය ගොස් ඇත්තේ මගේ හොඳම හිතවතෙක්. පසුගිය 17 වන දින රාත්‍රි 10.00ට පමණ මාත් තවත් යහළුවන් හතර දෙනෙකුත් මෝටර් රථයකින් මීගමු වෙරළට යන්න ගියා. ඒ යන අතරමගදී පැවැති අධික වර්ෂාපතනය නිසා මීගමුවට ගොස් ආහාර ගෙන නැවැත නිවස බලා එමින් සිටියා. ඒ එන අතර මගදී යකඩ වැටකුත් කඩාගෙන මෝටර් රථය හැමිල්ටන් ඇළට වැටුනා. මෝටර් රථය ටිකක් වේගයෙන් තමයි ආවෙ. සාමාන්‍ය වැස්සකුත් තිබුණා. ඇළේ අඩි 5 පමන වතුර පිරී තිබුණා. මෝටර් රථය ජලයෙන් පිරී තිබුණා. මාත් තවත් අයෙක් පිහිනා ගොඩට ආවා. අප දෙදෙනාට තුවාල සිදුව තිබුණා. රියදුරුත් ඉන්පසු එළියට ගත්තා. අන්තිමට ගත් දෙදෙනාගෙන් එක් අයෙකු වන රචිත කොළඹ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී මිය ගිය බව දැනගත්තා. අප තිදෙනෙක් රෝහලේ ප්‍රතිකාර ලැබුවා.

වෛද්‍ය වාර්තා හා තවත් කීප දෙනෙකු ගේ සාක්‍ෂි සටහන් කරගත් හදිසි මරණ පරීක්‍ෂකවරයා මෙම මරණය දියේ ගිලීමෙන් සිදුවූ හදිසි අනතුරක් බවට නිගමනය කෙළේය.

මීගමුව පොලීසියේ පො. සැරයන් අධිකාරී හා මරදාන පොලීසියේ පො. සැ. ලාල් පතිරණ යන නිලධාරීහු සාක්‍ෂි මෙහෙය වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා