ශ්‍රී ලංකාව ලකුණු 218කට දැවී යයි

ශ්‍රී ලංකාව ලකුණු 218කට දැවී යයි

සංගක්කාර-මැතිව්ස් ශතක සබඳතාවක

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අබුඩාබි හි ඊයේ පැවැති පස්වැනි හා අවසාන ජාත්‍යන්තර එක්දින තරගයේ ලකුණු 219ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි පාකිස්තානය පත්‍රය රාත්‍රී මුද්‍රණයට යන විට ඕවර 33කදී කඩුලු 4ක් දැවී ලකුණු 141ක් රැස්කර ගෙන සිටියේය.

ශ්‍රී ලංකා ඉනිම කඩුලු 9කට ලකුණු 218ක්ව තිබියදී අවසන් වූ අතර කුමාර් සංගක්කාර හා ඇන්ජලෝ මැතිව්ස්ගේ ලකුණු 118ක සබඳතාව මත එම ඉනිම ගොඩනැගී තිබිණි. සංගක්කාර ලකුණු 78ක්ද මැතිව්ස් ලකුණු 61ක්ද වාර්තා කළහ.

සොහයිල් ටන්වීර් ලකුණු 34කට කඩුලු 4ක් ලබා ගත්තේය. ඕවර 26ක් අවසන් වන විට නායක මිස්බා උල් හක් නොදැවී ලකුණු 32ක්ද උමාර් අක්මාල් නොදැවී ලකුණු 4ක්ද ලබා ගෙන සිටයහ. දිල්හාර ප්‍රනාන්දු ඊයේ ඔහුගේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් ලබා ගැනීමට සමත් විය. මොහමඩ් හෆීස් (14)ගේ පිත්තේ අග වැදී ආ උඩ පන්දුව කඩුලු රකින කුමාර් සංගක්කාර රැක ගැනීමෙන් පාකිස්තාන පළමු කඩුල්ල මුළු ලකුණු 25ක්ව තිබියදී 9 වැනි ඕවරයේදී බිඳ වැටිණි.

අනෙක් ආරම්භක පිතිකරු අසාඩ් ෂෆීක් ලකුණු 26කට දැවී ගියේය. පන්දු 38කට මුහුණ දුන් ඔහු හතරේ පහර 3ක් එල්ල කළේය. එම කඩුල්ල ඇන්ජලෝ මැතිව්ස් ලබා ගත්තේ ඔහුගේ සිවුවැනි පන්දුවේදීය.

ෂෆීක් කඩුල්ල මුවා කළ බවට පිටියේ තරග විනිසුරු දුන් තීරණයට එරෙහිව ඔහු අභියෝග කළද තෙවැනි විනිසුරුගේ තීරණයද එය ම විය. මේ අනුව පාකිස්තාන 2 වැනි කඩුල්ල 14 වැනි ඕවරයේදී බිඳ වැටිණි. ඒ, මුළු ලකුණු 51දීය.

පාකිස්තාන මුළු ලකුණු 113දී කඩුලු 2ක් බිඳ වැටිණි. ඒ කඩුලු දෙක ම ලබා ගත්තේ ජීවන් මෙන්ඩිස් ය. යූනුස් ඛාන් හා ෂොයිබ් මලික් (0) දැවී ගිය පිතිකරුවන් වූ අතර මේ දෙදෙනා ම දැවී ගියේ කඩුල්ල මුවා කරමිණි.

ඛාන් හා නායක මිස්බා උල් හක් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 11.4කදී ලකුණු 62ක සබඳතාවක් පිහිටුවූහ. 26 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී ඛාන් දැවී යන විට ඔහු හතරේ පහර 2ක් සමග පන්දු 48කින් ලකුණු 34ක් රැස්කර ගෙන සිටියේය. තෙවැනි පන්දුවේදී මලික් දැවී ගියේය.

පාදයේ ආබාධයකට ලක්ව එක්සත් අරාබි එමීර් රාජ්‍ය තරග සංචාරයෙන් ඉවත් වූ මහේල ජයවර්ධන වෙනුවට චාමර සිල්වා ඊයේ තරගය සඳහා කැඳවා තිබිණි.

පාකිස්තාන කණ්ඩායමේ වෙනස්කම් 3ක් සිදුකොට තිබිණි. ඉම්රාන් ෆර්හත්, අයිසාස් චීමා හා සෆ්රාස් අහමඩ් වෙනුවට පාකිස්තානය අසාඩ් ෂෆීක්, ජුනයිඩ් ඛාන් හා සොහයිල් ටන්වීර් කණ්ඩායමට ඇතුළත් කර තිබිණි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ කඩුලු 2ක් පළමු ඕවර 5 අවසන් වන විට ලකුණු 20කට බිඳ වැටී තිබිණි.

ආරම්භක පිතිකරුවන් වන උපුල් තරංග ලකුණු 3කටත්, තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 12කටත් දැවී ගිය අතර පිළිවෙලින් ටන්වීර් හා උමාර් ගුල්ගේ පන්දුවලට මේ දෙදෙනාම දැවී ගියේ කඩුල්ල පිටුපස උමාර් අක්මාල් වෙත උඩ පන්දු ලබා දෙමිණි.

අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් පන්දු 14කට මුහුණ දී ලකුණු 7ක් ලබා ගෙන 8 වැනි ඕවරයේදී ටන්වීර්ගේ පන්දුවකට දෙවැනි ‘ස්ලිප්’හි යූනුස් ඛාන් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. ඕවර 10ක් අවසානයේ ශ්‍රී ලංකා කඩුලු 3ක් ලකුණු 35කට බිඳ වැටී තිබිණි.

11 වැනි ඕවරයේදී, ප්‍රථම වතාවට පන්දු යැවීම සඳහා කැඳවනු ලැබූ ජුනයිඩ් ඛාන් ඔහුගේ පස්වැනි පන්දුවෙන්ම කඩුල්ලක් ලබා ගත්තේය. චාමර සිල්වා (1) පළමු ‘ස්ලිප්’හි මිස්බා උල් හක් අතට උඩ පන්දුවක් දෙමින් මුළු ලකුණු 46දී දැවී ගියේය.

කුමාර් සංගක්කාර හා ඇන්ජලෝ මැතිව්ස් එක්ව ශ්‍රී ලංකා ඉනිම ගොඩනගන්නට වූ අතර මැතිව්ස් විසින් 23 වැනි ඕවරයේදී උමාර් ගුල් ට එල්ල කළ හයේ පහරත් සමග ශ්‍රී ලංකා මුළු ලකුණු 100 සටහන් විය. ඕවර 25ක් අවසානයේ ශ්‍රී ලංකාව කඩුලු 4කට ලකුණු 114ක් රැස්කර ගෙන සිටියේය.

35 වැනි ඕවරයේ මුළු ලකුණු සංඛ්‍යාව 151ක්ව තිබියදී ශ්‍රී ලංකාව ‘බැටිං පවර් ප්ලේ’ අවස්ථාව ලබා ගත් අතර 40 වැනි ඕවරය දක්වා වූ එම අවස්ථාව තුළදී රැස්කර ගැනුණේ ලකුණු 20ක් පමණි. එම කාලය තුළදී ශ්‍රී ලංකාවට එක් කඩුල්ලක් අහිමි විය. ඒ, කුමාර් සංගක්කාර ය. ලකුණු 46 කට කඩුලු 4ක් බිඳ වැටී තිබු තැන් සිට සංගක්කාර හා මැතිව්ස් ලකුණු ඕවර 28ක් තුළ ලකුණු 118ක් ලකුණු පුවරුවට එක් කරමින් සිටියදී සංගක්කාර, මොහමඩ් හෆීස්ගේ පන්දුවකට ‘කවර්ස්’හි පන්දු රකිමින් සිටි මිස්බා උල් හක් අතට කෙළින් ම උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.

හතරේ පහර 8ක් එල්ල කළ ‘සංගා’ පන්දු 100කින් ලකුණු 78ක් වාර්තා කළේය. ඔහු ඊයේ ලබා ගත්තේ 67 වැනි ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකයයි.

මැතිව්ස්ද ඔහුගේ 8 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළේය. සයීඩ් අජ්මාල්ගේ පන්දුව මැතිව්ස්ගේ පිත්ත පරදවා පා ඉන්නේ ගැටීමෙන් ඔහු 44 වැනි ඕවරයේ දැවී යන විට ලකුණු 61ක් ලබා ගෙන සිටියේය.

පන්දු 101ක මැතිව්ස් ඉනිමට හතරේ සහ හයේ පහර 2 බැගින් ඇතුළත්ව තිබිණි. ඒ වන විට මුළු ලකුණු ප්‍රමාණය 180ක් විය.

ඊට කළින්, මුළු ලකුණුු 176දී ශ්‍රී ලංකා 6 වැනි කඩුල්ල බිඳ වැටිණි. 43 වැනි ඕවරයේ ජීවන් මෙන්ඩිස් (2) ෂහිඩ් අෆ්රිඩිගේ පන්දුවකට මුහුණ දීමේදී ‘ස්ටම්ප්’ කිරීමකට ලක්ව දැවී ගියේය. තිසර පෙරේරා හා සීකුගේ ප්‍රසන්න 8 වැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 6.3ක් ඇතුළත ලකුණු 34ක් එක් කළහ. හයේ පහරක්ද සමගින් පන්දු 18කින් ලකුණු 25ක් රැස් කළ පෙරේරා ටන්වීර්ගේ පන්දුවක් කෙළින් ම කඩුල්ලේ වැදීමෙන් මුළු ලකුණු 214දී දැවී ගියේය.

ලසිත් මාලිංග හතරේ පහරක් එල්ල කොට ටන්වීර් එවූ ඉනිමේ අවසන් පන්දුවට මිස්බා අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. ටන්වීර් ලකුණු 34කට කඩුලු 4යි: ශ්‍රී ලංකාව කඩුලු 9 ට ලකුණු 218යි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා