ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් වෙබ් අඩවියක්

ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් වෙබ් අඩවියක්

ක්‍රීඩා කේෂ්ත්‍රයේ නියැළී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන්ම වෙන්වූ වෙබ් අඩවියක අවශ්‍යතාව පිළිබඳ සිහිනය යථාර්ථයක් බවට පත්වෙමින් පසුගියදා මාරවිල මාරියෝ බීච් හෝටලයේදී අමා ස්පෝර්ට්ස් වෙබ් අඩවිය විවෘත කෙරිණි.  www.amasportslk.com  නමින් වෙබ් අඩවියට පිවිසිය හැකිය.

ශ්‍රී ලංකා ක්‍රීඩා කේෂ්ත්‍රයේ නව පිටුවක් පෙරලමින් දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගොඩ නගන්නට ඔවුන්ට අත්වැලක් වන්නට හා ඔවුන්ට ධෛර්යයක් වීමට මේ වෙබ් අඩවියේ බලාපොරොත්තුව වී ඇත.

දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෘත්තීය මට්ටමට ගෙන ඒමට ඔවුනට හිමි නිසි ස්ථානය ලගා කර ගැනීමට, ඔවුන්ට ජාත්‍යන්තර වෙළඳ පොළ සකස් කර ගැනීමට, පුහුණුකරුවන් සඳහා සුදුසුකම්වලට සරිලන දේශිය මෙන්ම විදේශීය වෙළඳ පලක් නිර්මාණය කර ගැනීම හා ක්‍රීඩා කණ්ඩායම්වලට මෙරට දී මෙන්ම පිටරටදී ද තරග අත්දැකීම් ලගාකර ගැනීමේ අවස්ථාව උදාකරගැනීම මේ වෙබ් අඩවිය එළිදැක්වීමේ අරමුණ බව අමා ස්පෝර්ට්ස් හි කළමණාකාර අධ්‍යක්ෂ චාර්ල්ස් තිලකරත්න මහතා පැවැසීය.

මේ වෙබ් අඩවිය මගින් පුහුණුකරුවන් සඳහා පාඨමාලා, විභාග සම්මන්ත්‍රණ සඳහා අවශ්‍ය පසුබිම් සකස් කරදීම, ක්‍රීඩා දක්ෂතාවන් ඇති එහෙත් තම දක්ෂතා එළිදැක්වීමට නොහැකිව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම දක්ෂතාවන්ට ගැළපෙන පරිදි ක්‍රීඩා සමාජයක් සකසා දීම, අගහිගකම් ඇති දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත්වැලක් සැපයීම, දේශිය හා ජාත්‍යන්තර විශේෂඥ පුහුණුකරුවන් යටතේ පුහුණු සැසි පැැත්වීමට සැළසීම, දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තරයට පිවිසීමට පසුබිම සකස්කර දීම වැනි කරුණු රැසක් ලබාදීමට මේ වෙබ් අඩවිය මගින් බලාපොරොත්තුවන බව ද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක අර්ජුන රණතුංග, පළාත් සභා මන්ත්‍රී චින්තක මායාදුන්න, හිටපු ක්‍රිකට් ක්‍රීඩක රවීන්ද්‍ර පුෂ්ප කුමාර, ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද්, හිටපු වොලිබෝල් නායක ආනන්ද වන්නිතිලක, ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් නායිකා දිනේෂා ප්‍රසාදිනි, මීටර් 400 ජාතික සූරිය චන්ද්‍රිකා සුභාෂිනි හා ඔලිම්පික් තරග නියෝජනය කළ ක්‍රීඩක සුමේධ අරුණශාන්ත යන මහත්ම මහත්මීහු ද එක්වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා