දුම්රිය වැඩ වර්ජනයෙන් මගීහු රැසක් අමාරුවේ

දුම්රිය වැඩ වර්ජනයෙන් මගීහු රැසක් අමාරුවේ

ඇමැති මැදිහත් වීමෙන් වර්ජනය අවසන්

දුම්රිය ස්ථානාධිපතිවරු හා නියාමකවරුන් ඊයේ සවස 4.00 ට දැනුම්දීමකින් තොරව ආරම්භ කළ දුම්රිය වැඩ වර්ජනය නිසා නිවෙස් බලා ගමන් ගන්නා මගීහු දහස් ගණනක් මහ මඟ රස්තියාදු වූහ. වර්ජනය ආරම්භ කිරීමත් සමඟ කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර දීම ද නතර කොට තිබිණි. දුම්රිය ස්ථානාධිපතිවරු, නියාමකවරු සහ දුම්රිය සංඥාකරුවන් වැඩ වර්ජනයේ නිරත වී ඇතැයි වාර්තා වේ.

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරු, නියාමකවරු සහ දුම්රිය පාලක මැදිරියේ නිලධාරීන් ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා සමඟ ඊයේ (01) සවස පැවැති සාකච්ඡාවකින් පසු ඇති වූ එකඟතාවක් මත දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවා ඇත.

ඇමැතිවරයා සමඟ පැවැති එකඟතාවෙන් පසු දුම්රිය ධාවනය යළි යථා තත්ත්වයට පත් කොට ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩී. ඒ. පී. ආරියරත්න මහතා ‘දිනමිණ’ට පැවැසීය.

ඒ අනුව ඊයේ රාතී‍්‍ර 8.45 පමණ වන විට දුම්රිය ධාවනය යළි යථා තත්ත්වයට පත් කිරීමට අදාළ බලධාරීන් ක්‍රියාකර තිබේ.

වැඩ වර්ජනය ආරම්භ කිරීමත් සමඟ තැනින් තැන නතර කර තිබූ දුම්රියන් යළි ධාවනයට එක් කළ බව ආරියරත්න මහතා පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා