මානසික රෝගීන්ට දෙන පෙති මැගසින් හිරගෙදර කුඩ්ඩන්ට විකුණලා

මානසික රෝගීන්ට දෙන පෙති මැගසින් හිරගෙදර කුඩ්ඩන්ට විකුණලා

විමර්ශනයකදී හෙළි වෙයි

මානසික ආබාධවලින් පෙළෙන්නන් සඳහා ලබාදෙන පෙති වර්ගයක්, මත්ද්‍රව්‍ය චෝදනා ලැබ මැගසින් බන්ධනාගාරයේ සිටින රැඳවියන්ට අළෙවි කිරීමේ ජාවරමක් ගැන මැගසින් බන්ධනාගාරයෙන් අනාවරණය වී ඇත.

මේ පෙත්තක සාමාන්‍ය මිල රුපියලක් පමණ වන අතර එම බන්ධනාගාරයේ මේ පෙත්තක් ඉතා වැඩි මිලකට අළෙවි කර ඇතැයිද රැඳවියන් අතර පෙති තොග පිටින් තිබී ඇතැයි ද තොරතුරු අනාවරණය වී තිබේ.

පසුගියදා මැගසින් බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමට සම්බන්ධ රැඳවියන්ද මේ ඖෂධය නියමිත මාත්‍රාව ඉක්මවා ගෙන කලහකාරී ලෙස හැසිරී ඇතැයිද පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සිදු කරන පරික්ෂණවල දී අනාවරණය වී තිබේ.

මැගසින් බන්ධනාගාරයේ නව අධිකාරිවරයා පැමිණීමෙන් පසුව බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ලැබීම අඩපණවීමත් සමගම මේ පෙතිවර්ගය රැඳවියන් අතරේ ජනප්‍රිය කරවීම බන්ධනාගාරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම ඇතැම් බන්ධනාගාර නිලධාරින්ද කටයුතු කර ඇති බවට තොරතුරු හෙළිවී ඇත.

බන්ධනාගාරයේ ආදායම් උපයන මාර්ගයක් බවට පත්වි ඇති මේ ඹෟෂධ වර්ගය අළෙවියට බාහිර පුද්ගලයන්ගේ ද සහය ලැබී ඇත්ද යන්න පිළිබඳවද දැන් පරික්ෂණ අරඹා ඇත.

මැගසින් බන්ධනාගාරයේ බෙහෙත් ශාලාවෙන් අදාළ ඖෂධය නීතිවිරෝධී ලෙස නිකුත්කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇත. වෛද්‍යචරයකුගේ නිමයෙන් තොරව මේ ඖෂධය ඔසුහල්වලින් නිකුත් නොකරන අතර එම පෙති වැඩි වශයෙන් භාවිත කිරීමෙන් මරණය පවා සිදුවිය හැකිය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා