‘පුර නැඟුම’ ඇරැඹෙයි

පළාත් පාලන ආයතන නඟාසිටුවන්න

‘පුර නැඟුම’ ඇරැඹෙයි

පසුගාමී පළාත් පාලන ආයතන නඟාසිටුවීමේ අරමුණින් “පුර නැඟුම” වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි.

පළාත් පාලන ආයතන 108 ක් මේ සඳහා තෝරා ගෙන තිබෙන අතර ඒ යටතේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සැලැසුම්කර තිබෙන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති විශේෂ සාකච්ඡාවක් සඳහා සහභාගී වෙමිනි. ඩෙංගු මර්දනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ වත්මන් ප්‍රගතිය හා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙය පැවැත්විණි.

මේ යටතේ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කෙරෙන අතර ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, ජල සැපයුම, පුස්තකාල පහසුකම්, මාර්ග ආදිය ඒ අතර වන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

මහිදී ලේකම්වරයා සඳහන් කළේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ඒ ඒ පළාත් පාලන ප්‍රධානීන් විසින් තම පළාත් පාලන ආයතනය තුළ හොඳ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සැලැස්මක් ක්‍රියාත්මක කරන බවට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමකට පැමිණිය යුතු බවය.

ඇතැම් පළාත් පාලන ආයතන මේ වැඩසටහන හොඳින් ක්‍රියාත්මක කරන බවත් එය ක්‍රියාත්මක කළයුතු ආයතන සඳහා ආධාර ලබාදෙන බවත් ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම, ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ඒ.එල්.එම් අතාවුල්ලා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරු, අමාත්‍යාංශ ලේකම්වරු, නගරාධිපතිවරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා