රජයේ ඉන්ධන සහනාධාරයට වසරකට රු. මිලියන 24,000ක්

රජයේ ඉන්ධන සහනාධාරයට වසරකට රු. මිලියන 24,000ක්

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩිවීමත් සමඟ පොදු ජනතාවට සෙත සැලැසීමේ අරමුණින් රජය ක්‍රියාත්මක කරන ඉන්ධන සහනාධාරය සඳහා වසරකට රුපියල් මිලියන විසිහතර දහසක් වැය වෙතැයි ගණන් බලා තිබේ.

ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) සවස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය විය.

මේ ඉන්ධන සහනාධාරය පෞද්ගලික බස් රථ හිමියන්ට, ත්‍රිරෝද රථ හිමියන්ට, පාසල් වෑන් රථවලට, ධීවර බෝට්ටු හිමියන්ට, විදුලි බලය නොමැති ගම්මානවල භූමිතෙල් භාවිත කරන පිරිස්වලට හිමිවන බව ද මෙහිදී අනාවරණය විය.

එම මාධ්‍ය හමුවේදී මේ කරුණු ද අනාවරණය විය.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ යෑමත් සමඟ මෙරට ඉන්ධන මිල ගණන් සංශෝධනය නොකළේ නම්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පමණක් රුපියල් බිලියන 188.5 (මිලියන 1,8,8,500) අලාභයක් දැරීමට සිදුවන බව ගණන් බලා තිබේ.

මේ මස 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් මිල ගණන් සංශෝධනය කළත්, රුපියල් බිලියන 63.6 නොඑසේ නම් මිලියන හැටතුන්දහස් හයසියය අසූතුනක අලාභයක් සංස්ථාවට දැරීමට සිදුවන බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එස්. සමරතුංග මහතා හෙළිදරව් කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (13) සවස පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ලේකම්වරයා එසේ කීය.

මේ මාධ්‍ය හමුවට එකතු වූ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩ්‍රස් මහතා, විදුලි බලය නිපදවීමට යොදාගන්නා ඉන්ධන වර්ග හතරක මිල ඉහළ දැමීමත් සමඟ රුපියල් බිලියන 40 ක නැතිනම් මිලියන හතළිස් දහසක අමතර වියදමක් දැරීමට සිදුවන බව අනාවරණය කළේය.

මේ වසර ආරම්භයේදී බලශක්ති භාවිත කොට විදුලිය නිපදවීමට වැය වන ඇස්තමේන්තු ගත මුදල වූයේ රුපියල් බිලියන 179 කි. එය මිල ගණන් ඉහළ යෑමත් සමඟ රුපියල් බිලියන 219 ක් දක්වා ඉහළ නඟින බව ද ලේකම්වරයා පැහැදිලි කෙළේය.

ඒ අනුව මේ වියදම පියවා ගැනීමට විදුලි බිල ගාස්තු වැඩි කිරීමට ක්‍රියා කරන්නේද? අධිභාර ගාස්තුවක් අයකරන්නේ ද? නැද්ද යන්න පිළිබඳ තීරණයක් ගැනීමට අපක්‍ෂපාත, ස්වාධීන නියාමන කොමිසමට කරුණු ඉදිරිපත් කර ඇතැයි ද කීය.

මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් එස්. ආර්. ආටිගල මහතා - පෞද්ගලික බස් රථ හිමියන්ට, පාසල් වෑන් රථවලට, ත්‍රිරෝද රථවලට, ධීවර බෝට්ටුවලට සහ විදුලි බලය නොමැති ප්‍රදේශවල ජනතාවට ඉන්ධන සහනාධාරය ලබාදීමට මාසයකට රුපියල් බිලියන 2 බැගින් වසරකට රුපියල් බිලියන 24 ක් වැයවනු ඇතැයි ගණන් බලා ඇතැයි පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා