පුද්ගලයන් වෙනුවෙන් නොව රට වෙනුවෙන් සේවය කරන්න

පුද්ගලයන් වෙනුවෙන් නොව රට වෙනුවෙන් සේවය කරන්න

ජනපති රේගු නිලධාරීන්ට අවධාරණය කරයි

රේගු නිලධාරීන් සෑම විටම සේවය කළ යුත්තේ රට වෙනුවෙන් මිස පුද්ගලයන් වෙනුවෙන් නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

රජයට ලැබිය යුතු ආදායම නිසි ලෙස ලබා දීමට රේගු නිලධාරීන් සෑම විටම අවංකවත් කැපවීමෙනුත් කටයුතු කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා උපන් රටටත් හැදූ මවුපියන්ටත් ගෞරවයක් වන ආකාරයට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ සහකාර රේගු අධිකාරීවරුන් හා රේගු පරීක්ෂකවරුන් 280 දෙනකුට පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට අරලියගහ මන්දිරයේදී ඊයේ (13) එක් වෙමිනි.

වසර තිහක යුද්ධය නිමා කර රට සංවර්ධනය කරා ගෙන යන රජයේ වාර්ෂික ආදායමින් වැඩි කොටසක් රේගු දෙපාර්තමේන්තුවෙන් ලැබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ වසරේ රුපියල් බිලියන 570 ක් එම දෙපාර්තමේන්තුවෙන් උපයා දෙතැයි විශ්වාස කරන බව පැවසීය.

රේගුව පුද්ගලීකරණය කර ආදායම වැඩි කර ගන්නට පසුගිය රජයන් සැලසුම් කළත් රේගුවේ නිලධාරීන්ගේ කැපවීම නිසා එම කාර්යයන් වැළක්වුණු බව පැවසූ ජනාධිපතිවරයා එසේ වූවා නම් අද රජයට රේගුව සමඟ කටයුතු කරන්නට ලැබෙන්නේ නැති බව පෙන්වා දුන්නේය.

මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන, රේගු අධ්‍යක්ෂ ජෙනරාල් නෙවිල් ගුණවර්ධන, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් පී. අබේසේකර මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා