මැණික්හින්න පොලිසියටත් ‘ටයිසන්’ ඇවිත්

මැණික්හින්න පොලිසියටත් ‘ටයිසන්’ ඇවිත්

බහින් බස් වී කනක් සපා කාලා

ගැටුමට හේතුව අනියම් පෙමක්

පැමිණිල්ලක් විභාග කිරීම සඳහා මැණික්හින්න පොලිසියට කැඳවූ පුද්ගලයන් දෙදෙනකු පොලිසිය තුළදී බහින්බස්වී එක් පුද්ගලයකු අනෙකාගේ කන සපා කා එහි කොටසක් විසිකර දමා ඇත.

පසුව පොලිස් නිලධාරීන්ගේද සහාය ඇතිව අදාළ පුද්ගලයා මහනුවර මහ රෝහලට ඇතුළු කර ඇත්තේ වෙන්ව ගිය කනේ කොටසද සමඟය. පසුව මහනුවර මහ රෝහලේදී එම පුද්ගලයාට ශල්‍යකර්මයක් මඟින් කනේ ඉවත්ව තිබූ කොටස යළි බද්ද කර තිබේ.

කන සපා කෑමට ලක්වූ පුද්ගලයා විසින් අනෙක් පුද්ගලයාගේ මුහුණට පහරවල් කිහිපයක් එල්ල කර ඇතත් කනේ කොටසක් වෙන්වන තෙක් ඔහු එය අත්හැර නොමැත. මුහුණට එල්ලවූ ප්‍රහාර හේතුවෙන් කන සපා කෑ පුද්ගලයාගේ දත් කිහිපයකට හානි සිදුව තිබෙන අතර ඔහුද ප්‍රතිකාර සඳහා රෝහල්ගතව තිබේ.

කන සපා කෑ පුද්ගලයාගේ බිරිය අනෙක් පුද්ගලයා හා එකට ජීවත්වන බවත්, ඒ සම්බන්ධ නඩුවක් අධිකරණයේ විභාගවන බවත් පොලිසිය පවසයි. මේ සම්බන්ධව දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් විසඳීමට පොලිසියට කැඳවූ අවස්ථාවේ මේ ගුටිබැට හුවමාරුව සිදුව තිබේ. මැණික්හින්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රොෂාන් අමරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා