අධිවේගී මාර්ගයේ බස්වලින් යන මගීනට වතුර බෝතල් තුවා සහ පුවත්පත් සැපයේ

අධිවේගී මාර්ගයේ බස්වලින් යන මගීනට වතුර බෝතල් තුවා සහ පුවත්පත් සැපයේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථවලින් ගමන් කරන මගීනට වතුර බෝතල්, තුවා හා පුවත්පත් සැපයීමේ වැඩපිළිවෙළක් අරඹන බව ජාතික ගමනා ගමන කොමිසම ප්‍රකාශ කරයි. මෙම මාර්ගයේ ධාවනය වන බස් රථවල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට මගීන්ගෙන් තොරතුරු ලබාගෙන සමීක්ෂණයක් පැවැත්වීම එදින පස්වරු ගාල්ල බස් පොළින් අරඹමින් එම කොමිසමේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පැවැසීය.

සතිඅන්ත දීර්ඝ නිවාඩු පවතින සතිවල මගී ප්‍රවාහනයට වැඩිපුර බස් රථ යෙදවීමට කටයුතු කරන බව කී හෙතෙම 20 දින මෙම බස් රථවලට නැගීමට පෝළිමේ සිටින මගී සංඛ්‍යාව ගැන දැක මෙම මගීනට බස්වලට නගින තෙක් අසුන්ගෙන සිටීමට පහසු තැනක් සකස් කිරීමට කටයුතු කරන බවද පැවැසීය.  මේ අතර බස් ගාස්තු සංශෝධනයෙන් පසුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෛනික ආදායම රුපියල් ලක්ෂ 6කට ළඟාවෙමින් තිබෙන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කියයි.

ගාස්තු සංශෝධනයට පෙර අධිවේගී මාර්ගයේ දෛනික ආදායම වූයේ ලක්ෂ 5ක් පමණ බව ද ලංගම පවසයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මඟී ප්‍රවාහනය සඳහා ළඟදීම තවත් ශ්‍රී ලංගම බස් රථයක් යෙදවීමටද කටයුතු කරගෙන යයි. දැනට මගී ප්‍රවාහන බස්රථ 11 ක් එම මාර්ගයේ ධාවනය වන අතර එයින් 7ක් ශ්‍රී ලංගම ද 4ක් පුද්ගලික ප්‍රවාහන සේවා බස්රථද වෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා