මහ කන්නයේ වී ගැනීම අම්පාරෙන් ඇරැඹේ

මහ කන්නයේ වී ගැනීම අම්පාරෙන් ඇරැඹේ

වෙන් කළ මුදල මිලියන දහසක්

මහ කන්නයේ වී මිලදී ගැනීම රජය අම්පාර දිස්ත්‍රික්කයෙන් ඊයේ (21) ආරම්භ කළේය.  වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන දහසක මුදලක් මහා භාණ්ඩාගාරය විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත වෙන්කර ඇත. ඒ අනුව නාඩු වී කිලෝ එකක් රුපියල් 28 කටත්, සම්බා වී කිලෝ එකක් රුපියල් 30 කටත් වු සහතික මිලකට මිලදී ගැනීමට කටයුතු යොදා ඇති බව ගොවිජන සේවා හා වනජිවී ඇමැති එස්. එම් චන්ද්‍රසේන මහතා “දිනමිණට” පැවසීය.

වී නිෂ්පාදිත දිස්ත්‍රික්ක වල දිසාපතිවරුන්ට හා වී අලෙවි මණ්ඩලයට මෙන්ම සමුපකාර සමිතිවලට අවශ්‍ය මුදල් ලබාදෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය. තෙතමනය සියයට 14 කට අඩු වී රැගෙන එන ගොවීන්ට කිසිදු අපහසුතාවකින් තොරව රජයේ සහතික මිලට තම අස්වනු වී අලෙවි මණ්ඩලයට ලබා දීමට හැකි බව සමූපකාර හා අභ්‍යන්තර වෙළෙද ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. ගොවීන්ට අපහසු නොවන පරිදි වී මිලදී ගෙන එම වී හිස් ගබඩාවලට ප්‍රවාහනය කරන ලෙසට වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබා දී ඇති බවද ප්‍රනාන්දු මහතා කීවේය.

අම්පාර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමෙන් අනතුරුව මඩකළපුව, බදුල්ල, මොනරාගල, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, වවුනියාව, මුලතිව්, යාපනය, කුරුණෑගල, හම්බන්තොට, මන්නාරම සහ මාතලේ යන දිස්ත්‍රික්කවල අස්වැන්න ලැබෙන ආකාරයට සියලුම වී මිලදී ගැනීමට කටයුතු කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය. මිලදී ගනු ලබන වී ගබඩා කිරීමට අවශ්‍ය පහසුකම් තිබෙන බවත්, ඒ සඳහා වී අලෙවි මණ්ඩලයේ ගබඩා, සමුපකාර සමිතිවල ගබඩා හා ප්‍රදේශයේ මේ සඳහා යොදාගත හැකි වෙනත් ගබඩා පාවිච්චියට ගන්නා බවත් චන්ද්‍රසේන මහතා පැවසීය.

ඉන්ධන මිල ඉහළ ගියද ගොවීන් සඳහා ලබාදෙන රුපියල් 350 පොහොර සහනාධාරය එලෙසම ලබාදෙන බව පැවසු හෙතෙම දැනට කෘෂි උපකරණ සඳහා ලබාදෙන තීරුබදු සහනත්, බැංකු වලින් ලබාදෙන පහසුකම් තවදුරටත් ලබාදෙන බවද කීවේය. නොයකුත් රාජ්‍ය නොවන සංවිධාන හා රජයට විරුද්ධ බලවේගයන් ගොවියා අතකොළු බවට පත්කර වාසි ලබාගැනීමට උත්සහ කළද රජය ගොවියා පීඩාවට පත්නොකරන බව චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේය

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා