ශ්‍රී ලංකාවට එරෙහි බටහිර රටවල ක්‍රියාවන්ට විරෝධය

ප්‍රංශයේ-ඉතාලියේ-රෝමයේ

ශ්‍රී ලංකාවට එරෙහි බටහිර රටවල ක්‍රියාවන්ට විරෝධය

ස්ව ශක්තියෙන් නැඟී සිට ආර්ථික වර්ධනය අතින් ඉදිරියටම ගමන් කරන ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක බටහිර බලවතුන්ගේ ක්‍රියාකාරකම්වලට විරෝධය පළ කරමින් විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට විදේශ රටවල වෙසෙන දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ පියවර ගෙන ඇත.

බටහිර ක්‍රියාකාරකම්වලට එරෙහිව ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ සංවිධානය සහ ප්‍රංශයේ ශ්‍රී ලාංකික එකමුතුව සාමකාමී විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට පියවර ගෙන තිබෙන අතර ඒ අනුව ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ එක්ව පවත්වන සාමකාමී විරෝධතා ව්‍යාපාරය රෝමයේ ෆියාසා ඩයි වෙනීසියාහිදී අද (08) පැවැත්වෙන අතර ප්‍රංශයේ ශ්‍රී ලාංකික එකමුතුව සංවිධානය කරන විරෝධතාව එළඹෙන 11 දා පැරීසියේ පිහිටි අයිෆල් කුලුන පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

දශක තුනක කාලයක් පැවැති රුදුරු ත්‍රස්තවාදී අරගලයෙන් මිදුණු ශ්‍රී ලංකාවට එල්ලවී ඇති විදේශ සතුරු බලවේගයන්ට විරෝධය දැක්වීම මෙහි ප්‍රධානතම අරමුණ වී තිබෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකා ජාතික ධජයත් සමඟ සහභාගීවන මෙන් එම සංවිධාන විසින් ඒ ඒ රටවල වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කර ඇත.

ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක් වූ කොටි සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් අවසන් කළ එකම රට ශ්‍රී ලංකාව බව පෙන්වා දෙන රෝමයේ ශ්‍රී ලාංකිකයෝ සංවිධානය සාමය උදාකරගැනීම සඳහා නිවැරදි නායකත්වය දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර යුද අධිකරණය ඉදිරියට ගෙන යාමේ කුමන්ත්‍රණය පරාජය කිරීමට පෙරමුණ ගන්නා බවද සඳහන් කරයි.

මේ විරෝධතාවට අමතරව ඉතාලියේ නාපෝලි, පිරෙන්සි, වෙරෝනා, කටානියා නගරවලද ලබන 11දා විරෝධතා ව්‍යාපාර කිහිපයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

ශ්‍රී ලංකාවේ උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම කඩිනම් කරන ලෙස බලපෑම් කරමින් අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කවුන්සලය වෙත යෝජනාවක් ගෙන ඒමට සූදානමින් සිටින අතර එය පරාජයට පත් කළ යුතු බවද ප්‍රංශයේ ශ්‍රී ලාංකික එකමුතුව කියා සිටී.

එකම ජාතියක් ලෙස එකමුතුකමේ ශක්තිය ලොවට පෙන්විය යුතු බවද එසේ නොවීම සැමදා අප සතුරු උවදුරුවලට හිමිකරුවෝ කරන්නක් බවද ප්‍රකාශ කරන එම එකමුතුව නිදහසේ දියුණුව කරා යන රටකට එය අතිවිශාල බාධාවක් බවද එබැවින් එකමුතුව අද දිනයේ අප ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගය ජය ගැනීම වගකීමක් බවද ප්‍රකාශ කරයි.

උතුරු අප්‍රිකාවෙන් ආරම්භ කොට මැදපෙරදිග දක්වා තම බලය පෙන්වමින්, විවිධ අයුරින් නිදහස් රාජ්‍යයන් අඩපණ කිරීමේ උත්සාහයක නිරතවී සිටින ලෝක බලවතුන්ගේ විවිධ නාටක මේ දිනවල ශ්‍රී ලංකාව කෙරෙහි දක්නට ලැබෙන බව පෙන්වා දෙන එම එකමුතුව විවිධ ක්‍රමවලින් අපේ රටටද හිසරදයක් වන තරමට මොවුන්ගේ ක්‍රියාකාරකම් ප්‍රදර්ශනය කරන බවද කෙසේ හෝ එම උවදුර අඩපණ කිරීම සඳහා එකමුතුව කටයුතු කළයුතු බවද පෙන්වා දෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා