ළදරු කිරිපිටිවලට පාලන මිලක්

ළදරු කිරිපිටිවලට පාලන මිලක්

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම ළදරු කිරිපිටි වර්ග සඳහා පාලන මිලක් ගෙන ඒමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා අවශ්‍ය කරුණු වාර්තා කරන ලෙස සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාරිභෝගික අධිකාරියේ සභාපති මර්ෂුක් මහතාට දැනුම් දී තිබේ.

වෙළෙඳ පොළේ මේ වන විට විවිධ වර්ගයේ නම්වලින් යුත් විවිධ ව්‍යාපාරික ආයතන මඟින් නිෂ්පාදනය කරන සහ ආනයනය කරන ළදªරු කිරිපිටි වර්ග දහසකට වැඩි ප්‍රමාණයක් තිබේ. ඒ සෑම කිරිපිටි වර්ගයකම මිල ගණන් එකිනෙකට බෙහෙවින්ම වෙනස් තත්ත්වයක පවතී. ඇතැම් ළදරු කිරිපිටි වර්ගවල මිල පාරිභෝගිකයාට දැරිය නොහැකි තරම් ඉහළ තත්ත්වයක පවතී.

මේ නිසා බොහෝ පාරිභෝගිකයන්ට කිරි පිටි වර්ග මිලදී ගැනීමේදී ගැටලු සහගත තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වී තිබේ. ඊට ප්‍රධානතම හේතුව වන්නේ මිලෙන් වැඩි කිරිපිටි වර්ග පෝෂණයෙන්ද ඉහළම තත්ත්වයක පවතින බවට මතයක් ගොඩැනැඟී තිබීමයි. ඇතැම් වෛද්‍යවරු පවා දරුවන් සඳහා එවැනි මිලෙන් ඉහළ කිරිපිටි වර්ග නියම කරන අවස්ථාද බොහෝ ය.

සමාජයේ පවතින මේ තත්ත්වය වෙනස් කරමින් සෑම දරුවෙකුටම එක හා සමාන ලෙස පෝෂණයෙන් යුත් කිරිපිටි වර්ග ලබාදීමේ අරමුණ මත සෑම කිරිපිටි වර්ගයක් සඳහාම එකම පාලන මිලක් යෙදවීමට මෙසේ තීරණය කර තිබේ.

මේ අනුව ඉදිරි දින කීපය තුළ පාරිභෝගික අධිකාරිය ළදරු කිරිපිටි ගෙන්වීම සහ නිෂ්පාදනය කරන ව්‍යාපාරික ආයතන සමඟද සාකච්ඡා කර මේ පාලන මිල නියම කිරීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා