ජගත් කාන්තා දින ජාතික උත්සවය අරලිය ගහ මැදුරේ

ජගත් කාන්තා දින ජාතික උත්සවය අරලිය ගහ මැදුරේ

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබේ.

මේ නිමිත්තෙන් පැවැත්වෙන ජාතික උත්සවය අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වෙයි.

ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවයේ මෙවර තේමාව වන්නේ “ගැහැණු දරුවා සුරකිමු” යන්නයි. මේ උත්සවයට අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න, කතානායක චමල් රාජපක්ෂ මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරුන් රැසක්ද, දෙස් විදෙස් ආරාධිතයින් රැසක්ද උතුරු නැඟෙනහිර පළාත් ද ඇතුළුව කාන්තා කාර්ය සංවිධානවල සාමාජිකාවන් 3000ක් පමණ සහභාගී වනු ඇත.

මෙරටේ දිනෙන් දින වර්ධනය වන කාන්තා හිංසන, අපචාර, ඝාතන හා කාන්තාවන්ට එරෙහි සියලුම කෲරත්වයන් නැවැත්වීම සහ මෙරටින් තුරන් කිරීම සඳහා වූ ජාතික වැඩපිළිවෙළක්ද ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (08) ආරම්භ වෙයි.

පළාත් මට්ටමින් ජන සමාජයට හා කාන්තා සංවර්ධනයට විශේෂ දායකත්වයක් ලබාදුන් කාන්තාවන් 09 දෙනකුට ගෞරව ප්‍රණාම පිරිනැමීමද ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ ජාතික මට්ටමින් සුවිශේෂී සේවාවක් ඉටුකරන කාන්තාවන් වෙනුවෙන් ගෞරව සම්මාන පිරිනැමීමද, රටේ තීරණ ගන්නා ක්‍රියාවලියේ දී සුවිශේෂ සේවාවක් ඉටු කළ කාන්තාවන්ගේ චරිත අලලා සැකසුණු අත්පොතක් එළි දැක්වීමද මේ උත්සවයේදී සිදු කෙරේ.

“කාන්තාවන් වෙනුවෙන් ලංකාවේ බල පැවැත්වෙන නීතිරිති” මැයෙන් නීතිපතිනී ඊවා වනසුන්දර මහත්මිය මෙවර කාන්තා දින ජාතික උත්සවයේ ආරාධිත දේශනය පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා