ප්‍රහාරයකට බියෙන් පාකිස්තානයේ වයඹදිග වැසියෝ බුරුතුපිටින් ගම්බිම් හැර යති

ප්‍රහාරයකට බියෙන් පාකිස්තානයේ වයඹදිග වැසියෝ බුරුතුපිටින් ගම්බිම් හැර යති

පාකිස්තා‍නයේ අරගලකාරී වයඹ දිග ගෝත්‍රික ප්‍රදේශයේ ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව හමුදා මෙහෙයුමක් සිදුකෙරෙන්නේ යැයි බියට පත් ජනතාව මෑත දින කීපයක පටන් දහස් ගණනින් ප්‍රදේශය අත්හැර යමින් සිටින බව ප්‍රකාශ වේ.

මේ කලාපයේ එවන් මෙහෙයුමක් සිදු කිරීමේ ක්ෂණික සැලැස්මක් නැතැයි බලධාරින් පුන පුනා කියා සිටි යද තැති ගත් නේවාසිකයන් ඒ බව නොතකා ප්‍රදේශය හැර යමින් සිටින බව සඳහන්ය.

මේ ප්‍රදේශය ඇෆ්ගනිස්තාන තලේබාන් හා අල්කයිඩා ක්‍රියාකාරීන්ගේ බළ කොටුවක් සේ සැලකේ.

කලාපයේ බොහෝතන්හි තලේබාන් සටන්කාමීන්ට එරෙහිව පාකිස්තානය ක්‍රියාත්මකව ඇතත් අල්කයිඩා සහායක හකානි ජාලයට එරෙහිව ක්‍රියාත්මක වන ලෙසට අමෙරිකාවෙන් සිදු කරන බලපෑම් ඔවුන් විසින් නොතකා හැර තිබේ.

කෙසේවෙතත් දැන් ප්‍රදේශයේ නේවාසිකයන් බුරුතු පිටින් එම ප්‍රදේශයෙන් බැහැර වන්නේ හමුදා මෙහෙයුමක බිය හේතු කොටගෙනය. මේ බිය හටගෙන ඇත්තේ පාකිස්තාන ‍තලේබානු ප්‍රකාශක විසින් එවන් ප්‍රහාරයක් නුදුරේදී ම සිදුවිය හැකි බවට රහස් ඔත්තුවක් ලැබී ඇතැයි ප්‍රකාශ කිරීමෙන් පසුය. එම ප්‍රහාරය අගෝස්තු 26 දායින් ඇරඹී මාසයක කාලයක් පවතිනු ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ‍තලේබාන් ප්‍රකාශක එසනුල්ලා එසාන් කීවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා