කොළඹ දේවි බාලිකා විදුහල අවට අනවසර පදිංචිකරුවන්ට නව නිවාස

කොළඹ දේවි බාලිකා විදුහල අවට අනවසර පදිංචිකරුවන්ට නව නිවාස

මවුපියන්ගෙන් ආරක්ෂක ලේකම්ට ප්‍රණාමය

කොළඹ, දේවි බාලිකා විද්‍යාලය අසල අනවසර පදිංචිකරුවන් ඉවත්කොට ඔවුනට වඩාත් පහසුකම් සහිත බිම්කඩක් ලබාදීමට කටයුතු යොදන ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රණාමය පුදකරන බව බාලිකා විද්‍යාලයීය මවුපියෝ ප්‍රකාශ කරති.

ඉතා තදාසන්න බිමක්ව පවතින දේවි බාලිකා විදුහල අසල අනවසර පදිංචිකරුවන් දිගු කලක සිට තාවකාලික නිවාස තනා පදිංචි වී සිටින බව පවසන මව්පියෝ, මේ පිරිසට වෙනත් පහසු වාසස්ථාන ලබාදී මේ බිම නිදහස් කැරැගැනීමට රාජපක්ෂ මහතා ගන්නා උත්සාහය අගය කරන බවද කියා සිටිති.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන මව්පියෝ මෙසේ ද කියති.

දිගුª කාලයක් පුරාවට කොළඹ දේවි බාලිකා විද්‍යාලයයේ තාප්පයට යාබදව ඉදිකරනු ලැබ තිබූ පේළි නිවාස සමූහය නිසා, විදුහලේ සනීපාරක්ෂක කටයුතු, පාරිසරික හා සමාජමය වශයෙන් අතිශය ගැටළු පැන නැඟුණු අවස්ථා බොහොමයකි. එසේම එහි අධ්‍යාපනය ලබන අපගේ දියණිවරුන්ට බලපාන අයුරින් පැවැති සෞඛ්‍යමය අනාරක්ෂිත බවද පාරිසරික අහිතකරතාවයන් ද දෙමාපියන් වන අප පීඩාවට පත්කළ ප්‍රශ්නයක්ව පැවැතුණි.

මේ නිවාස පේළිය ඉවත් කිරීමටත් එහි පදිංචිව සිටි සියලුම පවුල්වලට ඔවුන්ගේ කැමැත්ත පරිදි තාවකාලික නිවාස පහසුකම් ලබා දීමටත් මේ වන විට කටයුතු කොට ඇති බව දැක ගන්නට ලැබුණි. එසේම යථා කාලයේදී එම සියලුම පිරිස්වලට සාධාරණත්වයක් ඉෂ්ඨ කරමින් ස්ථිර නිවාස ලබා දීමටද විධිමත් වැඩපිළිවෙළක් සකසන බව දැනගන්නට ලැබුණි.

බොහෝ කාලයක් පුරාවට විදුහලට බලපාන ලද ගැටළුමය තත්ත්වයක් සාමකාමී ලෙස නිරාකරණය කර දීමෙන්ද, අදාළ පිරිස්වලට සාධාරණයක් ඉෂ්ඨ කිරීම පිළිබඳව අපි ගෝඨාභය රාජපක්ෂ මහතාට කෘතඥතාපූර්වකව ස්තූතිය පිරිනමමු.

මේ පරිශ්‍රයෙන් ඉවත්ව ගිය නිවැසියන්ට සහ ඔවුන්ගේ සියලුම දරු චරයන්ට වාසනාවන්ත අනාගතයක් අප ප්‍රාර්ථනා කරමු.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා