කතා දෙකක් නැහැ සරසවි විනාශ කරන්නෙ ජ.වි.පෙ

කතා දෙකක් නැහැ සරසවි විනාශ කරන්නෙ ජ.වි.පෙ

එස්.බී.දිසානායක
උසස් අධ්‍යාපන ඇමැති

පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵලය, ප්‍රතිඵලයෙන් කියැවෙන ජනමතය, උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ වර්ධනයට අමාත්‍යාංශ මට්ටමෙන් ගෙන ඇති පියවර හා ඒ සඳහා ක්‍රියාත්මක කරන සැලැසුම් හා අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙන් සිදුව ඇති අර්බුද පිටුපස ඇතැයි කියන අදිසි හස්ත පිළිබඳ ඇමැති එස්.බී.දිසානායක මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

ආණ්ඩුව මෙවර පළාත් සභා මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය පිළිබඳව ඔබේ තක්සේරුව මොන වගේද?

මේ රටේ බහුතර ජනතාව ඉන්නේ කා සමඟද යන්න යළි යළිත් තහවුරු වී තිබෙනවා. මේ පළාත් සභා මැතිවරණයේදී බහුතර ජනතාව ජනාධිපතිතුමාගේ පිළිවෙත වගේම ප්‍රතිපත්තියත් පිළිගෙන ඇති බව පැහැදිලිය.

ඒ නිසා තමයි මේ තරම් බහුතර ආසන ප්‍රමාණයක් වගේම ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට පුළුවන්කම ලැබී තිබෙන්නේ.

මේ මොහොතේදී විපක්ෂය ගොවීන්, ශිෂ්‍යයන් ඇතුළු සමාජ කණ්ඩායම් නොමඟ යවමින් කටයුතු කිරීමටයි උත්සාහ කළේ. ඒත් ජනතාව මේ ක්‍රියාකාරකම් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ ප්‍රතිඵලය මඟින් අපට තේරුම් ගැනීමට පුළුවන්.

රටේ බහුතර ජනමතය ආණ්ඩුව සමඟ බව. මේ ආණ්ඩුව රටට ගමට විශාල කාර්ය භාරයක් ඉටුකළ හා ඉදිරියේදී විශාල වැඩ කොටසක් ඉටු කිරීමට සැලැසුම් කළ ආණ්ඩුවක් බව ජනතාව දන්නවා. ඒ බලාපොරොත්තුව ඇතිව තමයි ජනතාව මෙවරත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සිය ඡන්දය ප්‍රකාශ කළේ.

ඒත් එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයා ප්‍රකාශ කළා 2010 මහ මැතිවරණයේදී ඔවුන් ලබා ගත් ඡන්ද ප්‍රමාණයට වඩා මෙවර පළාත් සභා මැතිවරණයේදී ඡන්ද ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව. මේ තර්කය ගැන ඔබේ අදහස ඉදිරිපත් කළ හැකි ද?

පරාජය ලැබුවාම පරාජයට හේතු කියන එක පහසුයි. ඒත් මේ අය තේරුම් ගෙන නැහැ. දිගින් දිගටම පරාජය වැළඳ ගන්නෙ මොකද කියලා. එහෙම නැතිව වැරැදුනාම බොරු හේතු කියන එක නොවෙයි විය යුත්තේ. ජනමතය තේරුම් ගෙන ජනමතයට ගරු කිරීමයි. පක්ෂයක යුතුකම. එ.ජා.ප.යට එහෙම හැකියාවක් නැහැ.

විශ්වවිද්‍යාල දේශපාලනීකරණය වී ඇති බවට ආචාර්ය සංගම් හා ශිෂ්‍ය සංවිධාන අදහස් පළ කරනවා. මේ ගැන විෂයභාර ඇමැතිවරයා ලෙස ඔබේ අදහස කුමක්ද?

මේ කතාව සම්පූර්ණ බොරුවක්. ඒ වගේම විහිළුවක්. 1997 සිටම, විශ්වවිද්‍යාල උපකුලපතිවරු යටතේ පාලනය වුණේ නැහැ. අන්තවාදි තීන්දු තීරණ ගත්තේ ජ.වි.පෙ. විසින් නම් කළ ශිෂ්‍ය සංගමය විසින්. මේ ශිෂ්‍ය සංගම් නියෝජිතයන් ප්‍රජාතන්ත්‍රවාදි ලෙස පත් වූ අය නොවෙයි. ජවිපෙ චිට් කාරයෝ. මේ අයට බයේ තමයි ආචාර්ය මහාචාර්යවරු කටයුතු කළේ.

මේ ශිෂ්‍ය සංගම්කාරයෝ හවුල් වූ ජ.වි.පෙ. ප්‍රචණ්ඩත්වය මුදාහැරියා. උපකුලපතිවරු මැරුවා. ආචාර්යවරු මැරුවා. ප්‍රතිවිරුද්ධ මත දැරූ ශිෂ්‍ය කණ්ඩායම් මරා දැමුවා. මේ විදිහේ ඉතිහාසයක් තමයි එදා තිබුණේ. මා ඇමැතිවරයා විදිහට උත්සාහ කරන්නේ මේ තත්ත්වය වෙනස් කිරීමටයි. ඒ කියන්නේ දේශපාලනයෙන් විරූපි වී ඇති විශ්වවිද්‍යාල පද්ධතිය වෙනස් කර අධ්‍යාපනය මුල් කරගත් නිදහස් විශ්වවිද්‍යාල පද්ධතියක් බිහි කිරීමයි මගේ අරමුණ.

මේ විදිහේ සුවිශේෂි දෙයක් සිදු කිරීමට උත්සාහ කරද්දී ආචාර්ය සංගම් මේ විදිහේ මතයක් ඇති කිරීමට උත්සාහ කිරීම කණගාටුවට කාරණයක්. දකුණේ ශිෂ්‍ය සංගම් මේ විදිහට කටයුතු කරද්දී උතුරේ විශ්වවිද්‍යාල පද්ධතිය යටත් වෙලා තිබුණේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පාලනයටයි. ඒත් ඒ තත්ත්වය ආචාර්ය සංගම්වලට නොතේරීම පුදුමයටත් කණගාටුවටත් හේතුවක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්.

ඔබ කලක් ප්‍රකාශ කළා විශ්වවිද්‍යාල යනු මුදානොගත් ප්‍රදේශ බවත් දැන් ඒ ප්‍රදේශ මුදා ගැනීම ඔබේ උත්සහය බවත්. මේ ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

1958 දී බණ්ඩාරනායක මහතා විශ්වවිද්‍යාල අධීක්ෂණය කරද්දී එතුමාට හිරිහැර කළා. 1966 දී ඩඩ්ලි සේනානායක මහතා විශ්වවිද්‍යාල අධික්ෂණය කරද්දී එතුමාටත් හිරිහැර කළා. 1970 දී බදියුදීන් මහමුද් මහතා අධ්‍යාපන ඇමැතිවරයා විදිහට විශ්වවිද්‍යාලයට ගියා. එතුමාටත් හිරිහැර කළා. ලලිත් ඇතුලත්මුදලි මහතා මහපොළ ක්‍රමයේ නිර්මාතෘ. ඒත් එතුමාටත් විශ්වවිද්‍යාලවලට යෑමට පුළුවන්කමක් තිබුණේ නැහැ.

සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිතුමාටත් විශ්වවිද්‍යාලවලට නිරීක්ෂණ චාරිකාවක් යන්න බැරි වුණා. මේ තරම් බරපතළ විදිහට තමයි ජ.වි.පෙ. ශිෂ්‍ය දේශපාලනය, විශ්වවිද්‍යාල පද්ධතිය බලවත් වෙලා තිබුණේ. මා විෂයභාර ඇමැතිවරයා විදිහට උත්සාහ කළේ මේ තත්ත්වය වෙනස් කිරීමට. ඇත්තෙන්ම අද වෙනවිට මට පුළුවන් වෙලා තිබෙනවා මේ තත්ත්වය වෙනස් කිරීමට. ඒ නිසා තමයි මට විරුද්ධව රූකඩ ශිෂ්‍ය සංගම් පෙළ ගැසෙන්නේ.

වැරැදි කරන අයට විරුද්ධව නිත්‍යානුකූල දඬුවම් ක්‍රියාත්මක කළා. මෙය වරදක් නොවෙයි, සිදුවිය යුතු දෙයක් විදිහටයි මා සලකන්නේ. මේ විදියට නීතිය ක්‍රියාත්මක කිරීම මඟින් විශ්වවිද්‍යාලවල විනය තත්ත්වය ඉහළ දැමීමට පුළුවන්කම ලැබී තිබෙනවා. අද වෙද්දී යළිත් විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් යටතට පත්වෙලා තිබෙනවා.

උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඉංග්‍රිසි භාෂාව ප්‍රගුණ කිරීම පිළිබඳ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර තිබෙනවා. මේ ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?

වර්තමානය වන විට ඉංග්‍රීසි භාෂා දැනුම අත්‍යවශ්‍යයයි. ඒ නිසා ඒ ආශ්‍රිත වැඩපිළිවෙළක් ඇති කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය වතාවරණය මේ වනවිට නිර්මාණය වෙලා තිබෙනවා. අපේ විශ්වවිද්‍යාල අන්තර්ජාතික තත්ත්වයට පත්කළ යුතුයි.

එතැනදි අපටත් අපේ විශ්වවිද්‍යාල පද්ධතිය ඒ තත්ත්වයට පත් කිරීමට පුළුවන්කම තිබිය යුතුයි. මෙයට කලකට පෙර අපේ විශ්වවිද්‍යාලයක් අන්තර් ජාතික ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත්ව තිබුණේ නැහැ. අවම වශයෙන් විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල පන්දහස අතරටවත් පැමිණ තිබුණේ නැහැ. ඒත් අද කොළඹ විශ්වවිද්‍යාල 820 දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ජයවර්ධනපුරත් ඉදිරියට පැමිණ තිබෙනවා.

විශ්වවිද්‍යාල ජගත් මට්ටමට පැමිණෙනවා නම් එහි භාෂා මාධ්‍ය වෙනස් විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය භාෂා වෙනස්කම් සිදුවිය යුතුයි.

විශ්වවිද්‍යාලයට බඳවා ගැනීම් ඉහළ දැමිය යුතු බවට අදහසක් ඇතිව තිබෙනවා. මේ ගැන ඔබේ අදහස මොන වගේද?

2005 දී විශ්වවිද්‍යාලවලට බඳවා ගත්තේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 9000ක් පමණයි. ඒ ප්‍රමාණය අදවනවිට 22000 දක්වා වැඩිවෙලා තිබෙනවා. මෙය සියයට සියයක් වර්ධනයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්.

ශිෂ්‍ය ප්‍රමාණය ඉහළ ගියාට දේශන ශාලා පහසුකම් හා වෙනත් පහසුකම් ඉහළ ගිහින් නැහැ. ඒ දේ අප පිළිගන්නවා. ඒත් අපට ලැබී ඇති ප්‍රතිපාදන, කළමනාකරණය කර ගනිමින් ඉදිරියේදී මේ පහසුකම් ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

2005 දී උසස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් වුණේ මිලියන 5000 යි. එය 2010 වන විට මිලියන 10900 දක්වා ඉහළ දැමුණා. මහින්ද චින්තන වැඩපිළිවෙල තුළ අධ්‍යාපනය සඳහා විශාල ඉඩ ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා.

මෙරට අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බවට ආණ්ඩුවේ ප්‍රතිපත්ති මගින් සඳහන් කර තිබුණා. ඒ ප්‍රතිපත්ති කෙතෙක් දුරට ක්‍රියාත්මක වෙනවාද?

උසස් අධ්‍යාපනයට වෙන් කරන මුදල්වලට අමතරව ක්‍රියාත්මක කරන ව්‍යාපාර සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණ වෙනත් ආයතන හරහා ලබා දෙනවා. විශ්වවිද්‍යාලයෙන් එළියට එන දරුවාට මෙරට දී පමණක් නොවෙයි විදේශයකදී හෝ රැකියා කිරීමට පුළුවන්කම තිබිය යුතුයි.

ශ්‍රී ලංකාවේ දරුවන්ට ලෝකයේම ඉල්ලුමක් ඇති කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය විධිවිධාන සකස් කර තිබෙනවා. අපට අවශ්‍ය වෙලා තිබෙන්නේ භාෂා තුනේම උගත්කම ඇති පිරිසක් ඇති කිරීමයි.

ඒ වගේම විවිධ භාෂා ඉගැන්වීමට හා ප්‍රවීණතා ලබා ගැනීමටත් කටයුතු සැලැසුම් කර තිබෙනවා. අපට අවශ්‍ය කර තිබෙන්නේ එක් දෙයකට සීමා වූ එක් අන්තයකට සීමා වූ පිරිසක් නොවෙයි. පුළුල් අධ්‍යාපනයක් සහිත නූතනයට වගේම අනාගතයට ගැලපෙන ශිෂ්‍ය පරම්පරාවක් බිහි කිරීමයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා