ශත පහකට වැඩක් නැති මනාප

ශත පහකට වැඩක් නැති මනාප

පළාත් සභා මැතිවරණයෙන් පසු; භයානක සිදුවීම් රැසක් වාර්තා වී ඇත. පහර දීම නිසා පුද්ගලයන් මිය යෑම, ගෙවල් ගිනි තැබීම, දේපොළ විනාශ කිරීම එම සිදුවීම් අතර පවතී. සන්ධානයේ ආධාරකරුවෝ සන්ධානයේ ම අයට පහර දුන්හ. එක්සත් ජාතික පක්‍ෂයේ ආධාරකරුවෝ එම පක්‍ෂයේ අයට ම පහර දුන්හ. රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුගාමිකයෝ සජිත් ප්‍රේමදාස මහතාගේ අයට පහර දුන්හ.

සජිත්ගේ අය රනිල්ගේ අයට පහර දුන්හ. දැන් ඡන්දය නිසා ගහ – මරාගන්නේත්, ගෙවල් ගිනි තබන්නේත් ඒ ඒ පක්‍ෂවල අයම ය. හේතුව; මනාප ඡන්දය යි. සාමාන්‍ය ව්‍යවහාරයේ දී මේ තත්ත්වය හඳුන්වන්නේ “බලු පොරය” ලෙස ය.

මේ වන විට මරණ දෙකක් වාර්තා වී ඇත. එක මරණයක් සන්ධානය පැත්තෙන් ය. අනෙක් මරණය එක්සත් ජාතික පක්‍ෂය පැත්තෙන් ය. එක් කෙනෙක් හෝ ඡන්ද අපේක්‍ෂකයෝ නො වෙති. අනුන්ගේ මනාපයක් වෙනුවෙන් දෙදෙනා ම ජීවිත පූජා කර සිටිති.

මෙය සිදු විය යුත්තක් ද? දෙදෙනා ම දුප්පත් – අහිංසක මිනිස්සු ය. එක් තැනැත්තකුට කාත් කවුරුවත් නැත. ඔහුගේ බිරිය ද මිය ගොසිනි. රියැදුරකු ලෙස අහිංසක ජීවිතයක් ගත කළ ඔහුගේ දූ – දරුවනට අද පිළිසරණක් නැත. අනෙක් තැනැත්තාගේ තත්ත්වය ද ඊට වෙනස් නැත.

මනාප ක්‍රමය අපට හඳුන්වා දුන්නේ 1978 අගෝස්තු 21 දා ප්‍රකාශයට පත් කළ නව ව්‍යවස්ථාව මඟින් ය. එය ජේ. ආර්. ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂයේ නිර්මාණයකි. මේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විවේචනයක් කරන ආචාර්ය එන්. එම්. පෙරේරා ශ්‍රී ලංකාව මෙය පදනම් කොට අර්බුදයෙන් – අර්බුදයට ගමන් කරන බව පෙන්වා දුන්නේ ය. දේශපාලනය සම්බන්ධයෙන් ද මහජන සහභාගිත්වය සම්බන්ධයෙන් ද අනතුරුදායක තත්ත්වයන් ඇතැ’යි ද ආචාර්ය එන්. එම්. පෙරේරා පෙන්වා දුන්නේ ය. ඔහුගේ “විවේචනාත්මක විශ්ලේෂණයක්“ නම් කෘතියෙන් ඉහත කරුණු සවිස්තරව දැක්වේ.

1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවට ඩොමීනියන් තත්ත්වය ලැබිණි. 1972 දී ශ්‍රී ලංකාව පූර්ණ නිදහස් රාජ්‍යයක් බවට පත් වූ අතර දේශීය තත්ත්වයනට ගැළපෙන පරිදි ස්වකීය ව්‍යවස්ථාවක් සම්පාදනය කැරිණි. එය රටට ගැළපෙන හා ඔරොත්තු දෙන ක්‍රම පද්ධතියකින් සමන්විත විය.

කාලීන ලෙස එය වෙනස් කළ යුතු නම්; සංශෝධන ඇති කිරීමට ඉඩ තිබිණි. එහෙත් ජේ. ආර්. ජයවර්ධන සිය පක්ෂය හා බලය ගැන පමණක් කල්පනා කරමින් නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළේ ය. ව්‍යවස්ථා සම්පාදනය සඳහා කුමන හෝ ජන සහභාගිත්වයක් නො තිබිණි. අද එහි විපාක පොදුවේ සියල්ලට ම විඳගැනීමට සිදු වේ.

ආචාර්ය එන්. එම්. පෙරේරා මහතා 1978 ව්‍යවස්ථාව විවේචනය කළේ එහි ඇති ජනතා විරෝධී ලක්ෂණ එකි’නෙක පෙන්වා දෙමින්; ඊට පූර්ණ විග්‍රහයක් ද ඉදිරිපත් කරමින් ය. විධායක ජනාධිපති ක්‍රමයේ සිට සමානුපාතික ඡන්ද ක්‍රමය දක්වා සියලු අංශ එහිලා විවේචනය කැරිණි.

ඇමෙරිකන් හා ප්‍රංශ ආණ්ඩු ක්‍රම වෙතින් ආදර්ශයන් ලබා ගත්ත ද; එම ව්‍යවස්ථාවන්හි නැති ප්‍රජාතන්ත්‍රීය නො වන ලක්ෂණ ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාවට එක් වී ඇතැ’යි ඔහු එදා පෙන්වා දුන්නේ ය. එහි ඉලක්කය වූයේ ප්‍රෝඩාකාරී ලෙස බලය පවත්වා ගෙන යෑම ය. පුදුමයකට මෙන් අද ජේ. ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාවෙන් එජාපය ද බැට කයි.

මනාප ක්‍රමය යනු 1978 ව්‍යවස්ථාවේ දුර්ගුණවලින් ඉතා සුළු කොටසක් පමණි. මේ ක්‍රමය තුළ ඉහළට එසැවෙන්නේ ධනපති අපේක්‍ෂකයා ය. එක ම අපේක්‍ෂකයාට මුළු දිස්ත්‍රික්කයක් පුරා ප්‍රචාරක කටයුතු සිදු කරන්නට වේ. ඒ මනාප තොගය විශාල කර ගැනීම සඳහා ය.

ඇතැම් දිස්ත්‍රික්කයක් කුඩා වන අතර තවත් දිස්ත්‍රික්කයක භූමිය අති විශාල ය. කොළඹ වැනි දිස්ත්‍රික්කයක් කුඩා වන අතර අනුරාධපුරය මොනරාගල වැනි දිස්ත්‍රික්ක අති විශාල ය. මෙබඳු ප්‍රදේශවල පොදුජන කටයුතු සිදු කිරීම, ප්‍රචාරක කටයුතු සිදු කිරීම කළ හැක්කේ ධනය හා බලය යහමින් ඇති අයට පමණි. එජාපය කවදත් සැලකුවේ ධනපතියාට එය ධනපති පක්‍ෂයකි. බටහිරට ගැති දේශපාලන ව්‍යාපාරයකි.

මේ ඡන්ද ක්‍රමයට අනුව පළපුරුදු – දක්‍ෂ දේශපාලකයන් ප්‍රතික්‍ෂේප වන්නට ද පුළුවන. නිදසුනක් ගතහොත් පළාත් සභාවක මහ ඇමැති තනතුර සඳහා තෝරා ගැනීමේදී පක්‍ෂයේ ජයග්‍රහණය පමණක් නො ව මනාපය ද සැලැකිල්ලට ගනී. එය පුද්ගල සාධකයකි. පළපුරුද්දක් නැති අලුත් ම තරුණ නියෝජිතයකු ජනප්‍රිය භාවය මත වැඩි ම මනාප ගන්නට පුළුවන. නැතහොත් ප්‍රචාරක විධික්‍රම නිසා දිස්ත්‍රික්කයකින්, පළාතකින් වැඩි ම මනාප ගන්නට පුළුවන.

එම තැනැත්තා හෝ තැනැත්තිය මහ ඇමැති පදවියට තෝරාගැනීම සුදුසු යැයි කිව හැකි ය. පළපුරුද්ද – නායකත්වය - දේශපාලන විනය නැති කෙනකු මහ ඇමැති පදවියට පත් කිරීම නිසා බරපතළ ගැටලු මතු වන්නට ඉඩ තිබේ.

කව්රුත් දන්නා ලෙස උතුරු - මැද පළාත් සභාව සඳහා එබඳු තත්ත්වයක් මතු වී ඇත. මැතිවරණය ආරම්භ කළ දිනයේ පටන් ම එනම්; මැතිවරණය ප්‍රකාශයට පත්කළ දිනයේ පටන් ම එහි විවිධ අර්බුද හට ගැනිණි. විවිධ ගැටුම් පිළිබඳ වාර්තා පුවත්පත්වල පළ විය. මීට හේතුව මනාප පොරයයි. එක ම පුද්ගලයා මනාප තොගයක් පසුපස හඹා යන විට ගැටුම්කාරී තත්ත්වයන් මතුවීම ස්වාභාවික ය. එක ම පක්‍ෂයේ අපේක්‍ෂකයන් අතර ගැටුම් ඇතිවීම ද ස්වභාවික ය. මේ ගැටුම් නතර කළ හැක්කේ පුද්ගල සාධක වෙනස් කිරීමෙන් නො ව මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමෙන් ය.

1978 පෙර මැතිවරණවල දී මෙතරම් දේශපාලන ගැටුම් වාර්තා වූයේ නැත. ඝාතන වාර්තා වූයේ කලාතුරකින් ය. එක ම පක්‍ෂයේ ගැටුම් වාර්තා වූයේ ම නැත. එදා පැවැතියේ ප්‍රධාන පක්‍ෂ දෙක අතර සුළු - සුළු ගැටුම් පමණි. ශ්‍රී ලංකාව තව ම ද්විපාක්ෂික ක්‍රමය පවතින රාජ්‍යයෙකි. එය වෙනස් වන්නේ කලාතුරෙකින් අවස්ථාවක පමණි. අපගේ සම්ප්‍රදායට අනුව ශශ්‍රී ලංකාවට ගැළපෙන්නේ ද එම ක්‍රමය වේ.

බ්‍රිතාන්‍යයේ, අමෙරිකාවේ දේශපාලනය පවතින පරිද්දෙනි. ජයවර්ධන මහතා උත්සාහ කළේ සුළු පක්‍ෂවලට නියෝජනයක් ලබා දීමට නො ව තම පක්‍ෂයේ බලය තහවුරු කර ගැනීමට ය. එවකට ශ්‍රී ලංකාවේ සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් වැඩි ප්‍රතිශතය පැවැතියේ එක්සත් ජාතික පක්‍ෂය තුළ ය. එහෙත් අද එය වෙනස් වී ඇත.

ජේ. ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථා උගුලෙන් ගැළවිය හැක්කේ එම ව්‍යවස්ථාවට සංශෝධන ගෙන ඒමෙන් යැයි කිව හැකි ය. එතෙක් මනාප පොරයට තාවකාලික විසැඳුමක් දිය හැකි ය. එනම් වැඩි ම මනාප මත සියල්ල තීන්දු නො කිරීමෙන් ය. මේ වන විට සන්ධානයේ එක් තීරණයක් වන්නේ මහ ඇමැති පදවිය සඳහා මනාප ප්‍රමාණය පමණක් සැලැකිල්ලට නො ගන්නා බව ය. එය යහපත් දේශපාලන තීන්දුවක් ලෙස පෙන්වා දිය හැකිය. කුමක් වුව ගැටුම් අව ම කරන ඡන්ද ක්‍රමයක් ඇතිකළ යුතු ව තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා