පොදුරද මඬුලු පාර්ලිමේන්තු සංගම් සැසිය අවසන්

ශ්‍රී ලංකා අභිමානය ලොව‍ට කියා පෑ

පොදුරද මඬුලු පාර්ලිමේන්තු සංගම් සැසිය අවසන්

රුදුරු ත්‍රස්තවාදය පරාජය කර එකම ජාතියක්, එකම රටක් ලෙස නැඟී සිටින ශ්‍රී ලංකාවේ වර්තමාන ශ්‍රී විභූතිය ලොවට කියා පෑ පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ 58 වන සැසිය ඊයේ (14) නිමාවට පත් විය.

ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට මෙන්ම සංවර්ධනය සංග්‍රාමය ජය ගැනීමටත් නිර්භය නායකත්වය සැපයූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹි සමුළුව ත්‍රස්තවාදය නිමා කර ගෙවුණු වසර තුනක කාලය තුළ ක්‍රියාත්මක කෙරුණු නැවත පදිංචි කිරීමේ සහ සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ පැවැති සැකසංකා දුරු කිරීමට ලැබුණු අවස්ථාවක් විය.

මවුබිමට එරෙහි දෙස් විදෙස් බලවේග කරන ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව රටවල් 54 ක නියෝජිතයන් 850 දෙනකුට සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව හිමි කර දුන් මෙම සමුළුව අතිසාර්ථක සමුළුවක් බව බහුතර නියෝජිතයන්ගේ අදහස විය.

ජාත්‍යන්තර මට්ටමින් එල්ල වන බලපෑම්වල දී තීරණාත්මක සාධක විය හැකි පාර්ලිමේන්තු කතානාකයවරුන්, නියෝජ්‍ය කතානායකවරුන්, මන්ත්‍රීවරුන් මේ සමුළුවට එක් ව සිටි අතර රට පුරා සෑම තැනකම ඇවිදිමින් සැබෑ තත්ත්වය සොයා බැලීමේ ඉඩකඩ සලසා තිබිණ. ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය තවදුරටත් පැහැදිලි කරන අතරම පැරැණිතම සාමාජිකයකු වන අප රටේ ස්ථාවරත්වය තහවුරු කිරීමටත් හැකියාව ලැබුණි.

පොදු රාජ්‍ය මණ්ඩලයට මානව හිමිකම් පිළිබඳ විශේෂ කොමසාරිස්වරයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා වාරයට මේ අතර විශේෂ ස්ථානයක් හිමි වූ අතර මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පළ කළ විරෝධයට බහුතර රටවල සහයෝගය ලැබිණ.

බටහිර රටවල් ගෙන ආ මෙම යෝජනාවට අපේම රටේ විපක්ෂය පවා පක්ෂව අදහස් දක්වන විට ආණ්ඩු පක්ෂ නියෝජිතයන් ඊට එරෙහිව ගෙන ගිය සටනට බහුතර රටවල් පක්ෂව අදහස් දැක්වූ අතර එය මෑත ඉතිහාසයේ ලත් විශිෂ්ට ජයග්‍රහණයක් විය. පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ජීව ගුණය රැකෙන අන්දමින් අතිසාර්ථකව සමුළුව සංවිධාන කිරීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව සංගමයේ මහලේකම් ආචාර්ය විලියම්. එෆ්. ශිජා මහතා ප්‍රමුඛ සියලු නියෝජිතයන් කියා සිටි අතර එය ලබන වසරේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සාර්ථක කර ගැනීමටත් පි‍ටිවහලකි.

සමුළුවට පැමිණි නියෝජිතයන්ගේ ආරක්ෂාව හා පහසුකම් සැලසීම අතින්ද ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව නියෝජිතයෝ කිහිපදෙනක්ම දිනමිණට අදහස් දක්වමින් කියා සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා