ජනතාවට කිසිඳු ප්‍රශ්නයක් නැහැ: උතුර ගැන සිතා සිටි හැටි වැරැදියි

ජනතාවට කිසිඳු ප්‍රශ්නයක් නැහැ: උතුර ගැන සිතා සිටි හැටි වැරැදියි

පොදු රද මඬුලු නියෝජිතයෝ යාපනේ දී කියති

රත්මලාන සිට ගුවන් මඟින් යාපනය වෙත කැඳවාගෙන යනු ලැබූ පොදු රද මඬුලු පාර්ලිමේන්තු සංගම් නියෝජිත පිරිස, සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා ඇතුළු පිරිස විසින් හින්දු චාරිත්‍රානුකූලව පළාලි ගුවන් තොටුපළේ දී පිළිගන්නා ලදි.

උතුරු පළාතේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව යාපනය පුස්තකාලය ඉදි කිරීමට යෝජිත සංස්කෘතික මධ්‍යස්ථානය, යාපනය කොටුව, නල්ලුර් කෝවිල, ඉන්දිය ආධාර යටතේ ඉදි කෙරෙන නිවාස සංකීර්ණය නැරඹීමට ද නියෝජිත පිරිස කැඳවාගෙන යන ලදී.

කිලිනොච්චි රෝහල, ආනන්දපුරම් විදුලි බෙදා හැරීමේ මධ්‍යස්ථානය, පරන්තන් බීජ ගොවිපොළ නැරඹීමට ද මේ පිරිස එක් වූහ.

දකුණු අප්‍රිකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන පැට්‍රීෂියා මාහිලෝ මහත්මිය ප්‍රකාශ කළේ තමන්ට අසන්නට දකින්නට ලැබුණු දේ අනුව නම් උතුරු පළාතේ ජනතාවට කිසිඳු ප්‍රශ්නයක් තිබිය නොහැකි බවයි. ශ්‍රී ලංකාව ඉතා හොඳ රටක් බව ප්‍රකාශ කළ ඇය, කිසිවකුත් මේ රට සම්බන්ධ අසත්‍ය තොරතුරු ප්‍රචාරය නොකළ යුතු බව ද අවධාරණය කළාය.

උතුරු පළාතේ ජනතාව පාලනය කරන්නේ හමුදාව විසින් යැයි කැනඩාවේ වෙසෙන දෙමළ ජාතිකයන් කීවත් තමාගේ සංචාරයේදී එවැනි තත්ත්වයක් නොදුටු බව ද කැනඩාවේ මන්ත්‍රීවරයෙකු වන ඩේවින් සෝරි මහතා ප්‍රකාශ කළේය. නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන ක්‍රියාවලිය අතින් ශ්‍රී ලංකාව හොඳ තත්ත්වයක සිටින බවත් ඒ වෙනුවෙන් රජයට කල් ලබා දිය යුතු බවත් නවසීලන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන කාන් බල්ජිත් සිං බක්ෂි මහතා ප්‍රකාශ කළේය. අතීතයේ අමතක කර දමා වර්තමානය ගොඩනැගිය යුතු බවත් නිවැරදි මාර්ගයකට රට යොමුව තිබීම ගැන ඒ මහතා සතුට පළ කරන බවත් වැඩි දුරටත් කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා