අධ්‍යාපනයට 6ක් දුන්නොත් අනෙක් වැඩට මුදල් නෑ

රජයට ලැබෙන 14%ක ආදායමෙන්

අධ්‍යාපනයට 6ක් දුන්නොත් අනෙක් වැඩට මුදල් නෑ

මෙරට දළ ජාතික නිෂ්පාදනයෙන් රජයට ලැබෙන 14%ක ආදායමෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉල්ලන පරිදි සියයට 6ක් අධ්‍යාපනයට වෙන් කළොත් සංවර්ධනය ඇතුළු අනෙකුත් කාර්යයන් සිදු කිරිමට ප්‍රමාණවත් මුදලක් ර‍ජයට ඉතිරි නොවන බව උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා පවසයි‍.

රජයට ලැබෙන මේ සියයට 14ක ආදායමෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම, විශ්‍රාමිකයන්ගේ වැටුප් ගෙවීමට, සමෘර්ධි, පොහොර වැනි සහනාධාර ලබා දීමට, සියයට 6ක් වෙන් ‍කරන බවත් ඉතිරි සියයට අටක ආදායමෙන් සියයට 6ක් අධ්‍යාපනයට වෙන් කළ හොත් ඉතිරි වන සියයට 2ක ආදායම අමාත්‍යංශවලට, සංවර්ධන කටයුතුවලට මදි වන බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

ලෝකයේ ධනවත් රටවල් අධ්‍යාපනයට සියයට 6ක මුදලක් වෙන් කළත් ශ්‍රී ලංකාව අධ්‍යාපනයට වෙන් කරන්නේ ශ්‍රී ලංකාවට ලැබෙන දළ ජාතික නිෂ්පාදන ආදායමෙන් බවත් හෙතෙම අවධාරණය කරයි. ආචාර්යවරුන්ගේ මෙම ඉල්ලීම මේ මොහොතේ ඉටු කිරීමට රජයට හැකියාවක් නැතැයිද දිසානායක මහතා පවසයි.

වැටුප් වැඩි කර ගැනීමේ අරමුණෙන් අරඹා ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය මේ වන විට අධ්‍යාපනයට සියයට 6 ක් වෙන් කර ගැනීම ලෙස වෙනස් කරමින් ක්‍රියාත්මක කරන්නේ අන්තවාදීන් පිරිසකගේ උවමනාවට බවත් ඇමැතිවරයා කියයි.

රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණෙන් අන්තවාදීන් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය අහෝසි කරමින් වැඩවර්ජන ක්‍රියාත්මක කර තිබෙන බවත් මෙවැනි පිළිවෙතක් අනුගමනය කරන මොවුන් සමස්ත ආචාර්යවරුන්ගේ ගෞරවයට ද හානි කරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියි. මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලුව විසඳීම සම්බන්ධව රජය නැවත වරක් සාකච්ඡා මාර්ගයට පැමිණෙන ලෙස ආචාර්යවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, උසස් අධ්‍යාපන ඇමැති එස්.බී.දිසානායක, අමාත්‍යංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහත්වරු සහ විශ්වවිද්‍යාල උපකුලපතිවරු අතර සාකච්ජාවක් ඊයේ (14) පැවැති අතර යළි ආචාර්යවරු සමඟ සාකච්ඡා කිරිමට එහිදි තීරණය කෙරිණි. එම සාකච්ඡාව අද (15) හෝ හෙට (16) පැවැත්විය හැකි බවත් ඒ පිළිබදව ආචාර්ය සංගම්වලට දැනුම් දීමට කටයුතු සුදානම් කර ඇති බවත් අමාත්‍යංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශ කරයි‍

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා