රණවිරුවන් වෙනුවන් කැපවීම රණවිරු දිවි නැඟුමයි

රණවිරුවන් වෙනුවන් කැපවීම රණවිරු දිවි නැඟුමයි

පත්මා වෑත්තෑව
රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි

තිස් වසරක් පුරා පැවැති කුරිරු යුද්ධය අවසන් කරන්නට සිය ජීවිත මෙන්ම ශරීරාංගද පුද කළ රණවිරුවන්ගේ පවුල් නඟාසිටුවීම සඳහා රජය විසින් ගෙන ආ නවතම ව්‍යාපෘතිය රණවිරු දිවි නැඟුමයි. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය සමඟ රණවිරු සේවා අධිකාරිය එක්ව දියත් කරන මෙම ව්‍යාපෘතිය පිළිබඳ රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී පත්මා වෑත්තෑව මහත්මිය සමඟ දිනමිණ කළ සංවාද සටහනකි මේ.

* රණවිරු දිවි නැඟුම නමින් ක්‍රියාත්මක වන වැඩසටහන මොකක්ද?

දිවි නැඟුම නමින් රට පුරාම ජනතාවගේ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන අතරතුර රණවිරුවන්ටම සහ ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් වෙනමම ඒකකයක් හැටියට ක්‍රි‍්‍රයාත්මක වන වැඩසටහනක් තමයි රණවිරු දිවි නැඟුම කියන්නෙ.

මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෑ කුරිරු යුද්ධය නිමා කරන්නට තම ජීවිත, ශරීරාංග වගේම සමහර විට ජීවිත කාලයම එකම තැන එකම ඉරියව්වෙන් දිවි ගෙවන්න තරම් දුබලතාවයකට පත්වෙන්නට වීරෝධාර රණවිරුවන්ට සිදුවුණා. ඔවුන්ගේ අභිමානය, ගරුත්වය රැකෙන පරිදි ඉතා පහසුවෙන් ලෙහෙසියෙන් තමා විසින් ආරම්භ කරන ව්‍යාපාරයකට ණය ආධාර සැපයීම, අවශ්‍ය උපදෙස් මෙන්ම වෙළෙඳපොළ හඳුන්වා දීම වැනි කටයුතුයි මේ යටතේ සිදුවන්නේ.

* මේ සඳහා දායක වන්නේ කවුද?

මෙය රණවිරු සේවා අධිකාරියත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයත් එක්ව ක්‍රියාත්මක කරන වැඩසටහනක්. මේ සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හරහා ණය ආධාර ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා රණවිරුවා නිකම්ම නිකම් ණයකාරයෙක් නොකර ඔහු ආරම්භ කරන කුමන හෝ ව්‍යාපාරයක් සඳහා අවශ්‍ය ණය ආධාර සපයන අතරතුර ව්‍යාපාරයට අවශ්‍ය වෙළෙඳ පොළ හඳුන්වා දීමත් මේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හරහා සිදුවෙනවා.

* මේ ව්‍යාපෘතියට කොපමණ මුදලක් වෙන්කර තියෙනවාද?

2012 අයවැයෙන් ජනාධිපතිතුමා මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 400ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වෙන්කර දී තියෙනවා.

* හොඳයි මෙම ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලබා ගන්න හිමිකම තියෙන්නෙ කාටද?

සංග්‍රාම භූමියේදී මියගිය රණවිරුවන්ගේ පවුල්වලට සහ විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ට මෙම රණවිරු දිවි නැඟුමෙන් ප්‍රතිලාභ ලබාගැනීමේ පූර්ණ හිමිකම තියෙනවා.

* කොච්චර ණය මුදලක් ලබා ගන්න පුළුවන්ද?

රුපියල් 50,000 සිට ලක්ෂ 5 දක්වා ණය මුදලක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

* ලබාදෙන ණය මුදල තීරණය කරන්නෙ කොහොමද?

තමා ආරම්භ කරන්න බලාපොරොත්තු වන ව්‍යාපාරයේ හෝ ස්වයං රැකියාවේ හැටියටයි එම ණය මුදල තීරණය වෙන්නෙ. ඒත් එක්කම දැනට කරගෙන යන ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක් වැඩිදියුණු කර ගැනීම සඳහාත් මෙම ණය මුදල් ලබාගත හැකියි.

* ඔබ කියනවා මියගිය සහ ආබාධිත රණවිරු පවුල්වලටයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නෙ කියලා. ඇයි අනෙක් රණවිරු පවුල් අමතක කර දමන්නෙ. ඔවුනුත් සටනට දායක වුණානෙ?

එහෙම අදහසකින් මම කීවා නෙවෙයි. දැනට ආරම්භයක් හැටියට මූලික වශයෙන් මෙය ක්‍රියාත්මක වන්නෙ ආබාධිත සහ සටනේදී මියගිය රණවිරු පවුල් සඳහා. නමුත් ඉදිරියේදී සියලුම රණවිරු පවුල් සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව තියෙනවා. මොකද ඒ වනවිට මෙම ව්‍යාපෘතියේ සාර්ථක බවත් එහි ඇති අඩුලුහුඬුකමුත් අපට හොඳහැටි වැටහෙනවනෙ. අනෙක සේවයේ යෙදී සිටින රණවිරුවන් සඳහා වෙනමම යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙනවා. සේවා වනිතා ඒකක හමුදා කඳවුරුවල ඇති සුබසාධන ණය ක්‍රම වගේ ඒවා ඒ අතර ප්‍රධානයි.

* මෙයට අමතරව රණවිරු සේවා අධිකාරිය මගින් කෙරෙන වෙනත් සුබසාධන වැඩපිළිවෙළ තියෙනවද?

තියෙනවා. විශේෂයෙන්ම රණවිරුවන්ගෙ නිවාසවල තියෙන අඩුපාඩු සම්පූර්ණ කර ගැනීමට ඔවුන්ගේ දූදරුවන් සමඟ ජීවත් වීමට හැකි මට්ටමට නිවාසය සකස්කර ගැනීමට අපි ආධාර ලබා දෙනවා. ඉඩම් නැති අයට රජයේ ඉඩම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබා දෙනවා. දානපතියන් විසින් ලබාදෙන ඉඩම් රණවිරු පවුල් සඳහා ලබාදෙනවා. සමහර ආබාධිත වූ රණවිරුවන්ට ඔවුන්ගේ ආබාධිත තත්ත්වයට ගැලපෙන අයුරින් නිම වූ ත්‍රිරෝද රථ පසුගිය කාලයේ ලබා දුන්නා. වෛද්‍ය පහසුකම්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ආධාර උපකාර, විශ්වවිද්‍යාල, උසස් පෙළ සාමාන්‍ය පෙළ සමත්වන දරුවන්ට ඇගයීම් සහ ආධාර ලබා දෙනවා. සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත්වන දරුවන් අත්හැරෙන දරුවන් වෙනුවෙන් වෘත්තීය පුහුණුව සඳහා යොමු කිරීම් කෙරෙනවා.

* හමුදාවක් ගොඩනැගිල තියෙන්නෙ නිලය, තනතුර සහ විනය මත. මේ නිසා ඔවුන්ට ලැබෙන වරප්‍රසාදත් එකිනෙකට වෙනස්. ඔබගෙන් සේවය ලබාගන්නට එන රණවිරුවන්ටත් මේ දේ අදාළ වෙනවද?

නැහැ. රණවිරුසේවා අධිකාරියෙන් යම් සේවයක් ලබා ගැනීමට රණවිරුවෙක් හෝ රණවිරු පවුලක සාමාජිකයෙක් එනවා නම් අපි ක්‍රියාත්මක වෙන්නෙ මෙහි ඇති ව්‍යවස්ථාවට අනුකූලවයි. එහෙම නැතිව හමුදාවෙ ඔහු දැරූ නිලය තනතුර ඒ සඳහා අදාළ වෙන්නෙ නැහැ. ඒ නිසා සැමට සාධාරණත්වය ඉටු කරන්නට අපි බැඳල ඉන්නවා.

* ජනාධිපතිතුමා සැම විටම කියන්නෙ රට බේරාදුන් රණවිරුවන්ට කෘතගුණ සලකනවා වගේම මේ රටේ සැම රජයේ නිලධාරියෙක්ම ඔවුන්ට අවශ්‍ය සහයෝගයට ප්‍රමුඛතාව දිය යුතුයි කියල. නමුත් එම නිලධාරීන් බොහෝවිට රණවිරුවන් නොසලකා හරින අවස්ථා ඕන තරම් අපි දැකල තියෙනවා. එවැනි අවස්ථාවක රණවිරු සේවා අධිකාරියේ ඍජු මැදිහත්වීමක් ලබාගන්න බැරිද?

පුළුවන්. අපිත් හැම විටම කියන දෙයක් තමයි යම් කාර්යයක් කරගන්නට පැමිණියොත් රණවිරුවකුට එහි ප්‍රමුඛතාව දෙන්න කියන එක. නමුත් ඕනෑම රටක ඉන්නවා කොටසක් මේ දේ තේරුම් ගන්නකොට තවත් කොටසකට මෙය තේරුම් ගන්න බැහැ. නමුත් එය හොඳ දෙයක් නෙවෙයි. මොකද රජයේ නිලධාරීන් කියන්නෙ ගොඩක් පරිණත පිරිසක්. ඒ අයට තේරුම් ගැනීමේ හැකියාව තිබිය යුතුයි. ගෙදරින් එළියට ගියොත් රාත්‍රිය ගතකරන්න නැවත ගෙදරට එන්න හැකිවෙයිද කියන සැක සංකාව මත ගෙවුණු යුගයක් තිබුණා අපේ රටේ. ඒ කාලයේ හෙටක් ගැන බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ.

එවන් වකවානුවක තමන්ගෙ මව පියා අඹුදරුවන් ගෙදර දාල මේ සැක සංකාව දුරුකරල අපිට හෙටක් හදල දෙන්න යුද බිමට ගිය රණවිරුවා කෙනෙකුට අමතක කරන්න පුළුවන්නම් ඒ තරම් ගුණමකුකමක් තවත් ඇද්ද කියලයි හිතෙන්නෙ. අනෙක තමයි තම අතේ එල්ලීගෙන යන දරුවන් එක්ක සතුටින් ගමන් යන පියාට තේරෙන්න ඕනෑ පියා හිතින් මවාගෙන ගමන් කරන දරු පිරිසක් මේ රටේ ඉන්නවා කියලා. ඒ කැප කිරීම කළේ තමන් වෙනුවෙන් තම දරුවන්ගෙ අනාගතය වෙනුවෙන් කියල ඒ අයට හිතෙන්න ඕනෑ. අනෙක ජීවිතේ කවදාවත් තමන්ගේ පියා දැකපු නැති දරුවෝ කොතරම් නම් අපේ රටේ ඉන්නවාද මේ යුද්ධයේ ශාපය නිසා.

ආරක්ෂක ලේකම්තුමා සමඟ රට බේරාදුන් රණවිරුවන් අද රට ගොඩනගන්නට උර දෙනවා. ලස්සන නගර ඉහළ ප්‍රමිතියෙන් යුතු පාරවල් එදා අපිට සිහිනයකවත් තිබුණේ නැහැ. මෙවැනි රටක් නිර්මාණය කරගන්න පුළුවන් වෙයි කියලා. අද අපි නිදහසේ හුස්ම ගන්නෙ හෙටක් ගැන හිතල වැඩ කරන්නෙ සංග්‍රාම භූමියේදී රණවිරුවා හෙළූ ලේ කඳුළු දහඩිය නිසා. එයින් නෙවෙයිද මේ රට අද පෝෂණය ලබන්නෙ. අපි ගන්නා හුස්මක් පාසා රණවිරුවන් කළ කැපකිරීම සිහිකළ යුතුයි. එයින් පවා අපේ කෘතවේදීත්වය පෙන්විය යුතුයි. අඩුම ගානෙ මේ සටහනවත් බලල රණවිරුවන්ව නොසලකා හරින පිරිස් ඔවුන්ගේ ආකල්ප වෙනස් කර ගනීවි කියල මම හිතනවා.

* හොඳයි, ජනාධිපතිතුමා රණවිරුවන් ගැන දක්වන සැලකිල්ල ගැන ඔබට මොකද හිතෙන්නෙ?

අපේ ජනාධිපතිතුමා තරම් කළගුණ සලකන සංවේදී නායකයෙක් ලොව කොතනකවත් නැහැ කියලයි මම කියන්නෙ. රටේ උත්තරීතර පාර්ලිමේන්තුව ඉදිරිපිට රණවිරු ස්මාරකය හදලා වසරක් පාසා රණවිරු පවුල් සමඟ එතුමා ඇවිත් ඔවුන්ගෙ ගුණ සමරනවා. මෙරටට එන ලෝක නායකයින් ඒ ස්මාරකය වෙත කැඳවාගෙන යනවා, ගෞරව පුද කරනවා. රට රටවල හමුදා ප්‍රධානීන් ඇවිත් ගෞරව පුදකරනවා. මේවා ඒ නායකයින් හරහා ලෝකයට යනවා. ඔවුනුත් මේ කළ ගුණ සැලකීම ආදර්ශයට ගන්නවා. කවදාවත් ත්‍රස්තවාදය නැති කරන්න බැහැ කියපු ලෝක නායකයන්ට අපේ ජනාධිපතිතුමා පරමාදර්ශී නායකයෙක්.

* හොඳයි රණවිරු සේවා අධිකාරියේ සභාපතිනිය හැටියට ඔබ කොහොමද රණවිරුවන්ට සලකන්නෙ?

ඒ හැම කෙනෙක්ම මගේම දරුවන් කියල හිතලයි මම සලකන්නෙ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා