අදත් ජනතාව ආදරය කරන 80 දශකයේ ජනප්‍රියතම නායකයා

අදත් ජනතාව ආදරය කරන 80 දශකයේ ජනප්‍රියතම නායකයා

දින් හරියටම වසර 25කට පෙර අද වැනි දිනක මුළු ශ්‍රී ලංකාවම කම්පාවට පත් කරමින් මෙරට ජනතාවට ඉමහත් සේවාවක් ඉටුකළ, ජනතාවගේ ආදර ගෞරවයට පාත්‍ර වූ සුවිශේෂි පුද්ගලයකු ම්ලේච්ඡ අන්දමින් ඝාතනයට ලක්ව අප අතරින් සඳහටම සමුගති.

ඒ අන් කවුරුවත් නොව, මේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ නොමැකෙන මතක සටහනක් තැබුවා වූ, අප රටේ ජීවත්වන සියලුම ජාතීන්ට ආත්ම ගෞරවයක් ඇතිව ජීවත් විය හැකි නිදහස් සාධාරණ නව සමාජයක් ගොඩනැගීමෙහිලා මුළු ජීවිතයම කැප කළ, ජාතිවාදයටත්,ත්‍රස්තවාදයටත් එරෙහිව, එඩිතරව, නොබියව සටන් කළ ජනවාර්ගික ගැටළුවට සාකච්ඡා මාර්ගයෙන් දේශපාලන විසඳුමක් ලබාදීමට අපමණ වෙහෙසක් ගත්, සිංහල සිනමාවේ ජනපි‍්‍රයතම රංගන ශිල්පියා බවට පත්ව සිටි මානව හිතවාදි ඒ සුවිශේෂි පුද්ගලයා වූයේ ජනතා විමුක්ති පෙරමුණේ ම්ලේච්ඡ මිනී මරුවකුගේ වෙඩි පහරින් අප අතරින් සඳහටම සමුගත් 80 දශකයේ ජනප්‍රියතම දේශපාලන නායකයා වූ විජය කුමාරතුංගයාණන්ය.

ඒ 1988 පෙබරවාරි මස 16 වෙනිදාය. අදට හරියටම වසර 25කට පෙරය. වේලාව මධ්‍යහන 12 පසුවී විනාඩි 10 පමණ විය. ඒ වන විට විජයට දේශපාලන වශයෙන් ඉතා වැදගත් කටයුත්තක් සඳහා නිවසින් පිටත්වීමට නියමිතව තිබුණි. වාහනය නිවසින් එළියට ගන්නා තුරු තම සිඟිති දරු දෙදෙනාද වෙනදා මෙන්ම ඔහුගේ දෑතේ එල්ලී සිටියේය. ගත වූයේ නිමේෂයකි. ඉතා වේගයෙන් පැමිණි මෝටර් සයිකලයක් විජය ඉදිරිපිට නතර කරනවාත් සමගම පිටුපස වාඩි වී සිටි පුද්ගලයා ක්ෂණිකවම ගිනි අවියත් සමඟ යතුරු පැදියෙන් පැන ඉතා දරුණු ලෙස විජයට වෙඩි පහරවල් එල්ල කරන්නට පටන් ගත්තේය.

විජයට කිසියම් දෙයක් කරන්නට කාලයක් නොතිබිණි. ක්ෂණිකවම තම දෑතේ එල්ලී සිටි ආදරණීය සිඟිති දරුදෙදෙනා බේරා ගැනීම ඔහුගේ ක්ෂණික පළමු පියවර විය. වෙඩි පහරවල් කමින් තම සිඟිති දරුදෙදෙනා පසුපසට තල්ලු කරමින් නිවස තුලට දිවීමට ඉඩ සැලැස්සුවා පමණි. වෙඩි පහරවල් කාගෙන විජය බිම ඇද වැටුණේය. උපාලි සරත් නම් අපේ චිත්‍ර ශිල්පියාද ක්ෂණිකවම විජය බේරා ගැනීමට ඉදිරියට පැන්නද ඔහුද වෙඩි වැදී බිම වැටුණේය. ඒ කෲර ඝාතකයා බිම වැටුණු විජයගේ හිසට වෙඩි පහරවල් ගණනාවක්ම එල්ල කළේ ඉතා දරුණු අන්දමිනි.

මේ ශෝක ජනක පුවත 12.30 වන විට ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ ‍ෙමාහොතේ මුළු මහත් ශ්‍රී ලංකාවම කම්පාවට පත්විය. මුළු රටේම ජනතාවට ඉවසා දරා සිටිය හැක්කක් නොවීය. ඝාතනයට පත් වූ මොහොතේ සිට දිවයිනේ සෑම දිග්භාගයකින්ම හඬමින්, විලාප කියමින් පැමිණි පිරිස අති විශාලය. විජයගේ දේහය පොල්හේන්ගොඩ ඔහුගේ නිවසේ මෙන්ම කලාභවනේ තැන්පත් කර තිබූ දින කිහිපය තුල ගම් නියම්ගම් වලින් ඇදී ආ ලක්ෂ සංඛ්‍යාත ජනතාව අපමණ දුක් ගැහැට විඳීමින් සැතපුම් ගණනක දිගු පෝලිම්වල රැඳී සිටිමින් මුහුණ දැකීමට නොහැකි වුවද මිනිස් ගුණ දයාවෙන් පිරිණු තම නායකයාට අවසන් ගෞරවය දැක්වූහ.

එසේ ගෞරවය දැක්වීමට පැමිණි ජනතාවගේ පෝලිම දිවා රාත්‍රි දෙකේම එක වාගේ විය. එම පෝලිමේ අවසන් වීම අවසන් කටයුතු සිදු කරන අවස්ථාව දක්වාම එක ආකාරයෙන්ම විය. සියලුම ආගමික නායකයින් , දේශපාලන නායකයින්, රාජ්‍ය නායකයින්, විදේශ නියෝජිතවරුන්, කලාකරුවන්, රසිකයින්, ත්‍රිවිද හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් යන සියලුම ජනකොටස් මේ අතර වූහ.

විජයගේ අවසන් කටයුතු සිදු වූ පෙබරවාරි 21 වෙනි දින නිදහස් චතුරස්‍රයට පැමිණි ලක්ෂ සංඛ්‍යාත මහජන ගංගාව මෙතෙක් කිසිම රාජ්‍ය නායකයෙකුගේ හෝ කිසිම ප්‍රභූවරයෙකුගේ අවමංගල්‍යක් සඳහා සහභාගි වී නැත. අදත් ඒ වාර්තාව අභිබවා ගොස් නැත. එපමණක් නොව විජය ඝාතනය කළ පසු විජයගේ වියෝව ඉවසා ගත නොහැකිව කීදෙනෙකු සිය දිවි නසාගත්තේ ද.

විජයගේ දේහය කලා භවනේ තැන්පත් කළ දින රාත්‍රි (20 වෙනිදා) 9.00ට පමණ විජයගේ ඉතාමත් කිට්ටු හිතවතෙකු වූ අමරසිරි ජයසිංහ (අමරේ) යන අය දහස් ගණනක ජනතාව බලාසිටියදී දේහය ඉදිරිපිට ගිනි තබාගෙන සිය ජීවිතය නසා ගත්තේය. විජයට වෙඩි තබන අවස්ථාවේ උපාලි සරත් නම් අපේ හිතවත් චිත්‍ර ශිල්පියා ඉදිරියට පැන විජය බේරාගැනීමට ගොස් වෙඩි වැදි රෝහල් ගතව සතියකට පසු මරණයට පත්විය. තවත් අයෙක් වස බී ද, තවත් අයෙක් එල්ලීද මරණයට පත්වී ඇත.

විජයගේ 25 වෙනි ගුණ සැමරුම් දිනයේදී ඉහත කරුණ මා විසින් ඉදිරිපත් කරනු ලැබුවේ එදා ජනතාව විජයට දැක්වූ ආදරය ගෞරවය පිළිබඳ මතක සටහන් අවධි කිරීමට පමණක් නොව එම වකවානුවේ ශ්‍රී ලංකාවේ සිටි ජනපි‍්‍රයතම හා කීර්තිමත් පුද්ගලයා වූයේ විජය බවට සනාථ කිරීමටය. අප රටේ මෑත ඉතිහාසයේ මරණයට පත්වූ, ඝාතනයට ලක්වූ රාජ්‍ය නායකයින්, කලාකරුවන්, විවිධ ප්‍රභූවරුන් කොතෙක් සිටියද ඒ අයට දැක් වූ ජනතා උපහාරයට වඩා විජය කෙරෙහි දැක්වූ උපහාරයන් අතිමහත්ය.

අදත් විජය පිළිබඳව නිරන්තරයෙන්ම විවිධ තොරතුරු, විවිධ සිද්ධීන් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යන් හරහා ප්‍රචාරය වන්නේ ජනතාවගේ ආකර්ශනය තවමත් විජය කෙරෙහි පවතින නිසාය. ජීවත්ව සිටි විජය කුමාරතුංගට වඩා මියගිය විජය කුමාරතුංග ප්‍රබල බව අදත් ජනතාව විශ්වාස කරන්නේ එනිසාය. මෙවන් තත්ත්වයකට විජය පත්වුනේ කෙසේ ද යන්න අපි විමසා බැලිය යුතු වන්නෙමු. එයට හේතු වූ කරුණු වත්මන් තරුණ පරපුරට අපි අවබෝධ කළ යුතු වන්නෙමු. විජයගේ ජීවිත තොරතුරු, ඔහුගේ යටගියාව, ඔහුගේ කලා ජීවිතයේ හා දේශපාලන ජීවිතයේ වැදගත් සිදුවීම්, කැපකිරීම් හා ජාතික ගැටලුව විසඳීමෙහිලා, ඔහු ගත් එඩිතර ක්‍රියාමාර්ග පිළිබඳ අවබෝධයක් ලබාදිය යුතු වන්නේය.

විජය උපන්නේ 1945 ඔක්තෝම්බර් මස 09 වෙනිදාය. විජය ඝාතනය කරනු ලැබුවේ 1988 පෙබරවාරි 16 වෙනිදාය. ඔහුට ජීවත් වීමට වාසනාව ලැබුනේ වසර 43කට අඩු කාල පරිච්ඡේදයක්ය. විජයගේ කලා ජීවිතය වසර 20 කි. ඔහු දේශපාලනයේ යෙදී සිටියේ ඔහුගේ ජීවිතයේ අවසාන වසර 11 ක පමණ කෙටි කාලයක්ය. මේ අනුව ඔහුගේ ජීවිතයේ අවසාන වසර 20 තුලදී කලා ක්ෂේත්‍රයෙත්, දේශපාලන ක්ෂේත්‍රයෙත් ඔහුගෙන් ඉටුවුණු ජාතික මෙහෙවර සහ ඔහු අත්පත් කරගත් ජයග්‍රහණයන් අතිමහත්ය. විජය ඝාතනයට ලක්වෙන විට ඔහු මෙරට ප්‍රබල මානව හිතවාදියෙකු බවට පත් වී සිටියේ මේ නිසාමය.

විජයගේ ජනප්‍රියතාව මුලින්ම ආරම්භ වූයේ පාසල් අවදියේදීමය. ඒ ඔහු කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සමයේදීය. කුඩා කල සිටම ඔහු ඉගෙනුම ලැබුවේ ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර් සහ වෙනත් රටවල ළමුන් සමඟය. මේ නිසාම ඔහු මේ ළමුන් අතර කිසිඳු වෙනසක් නොදුටුවේය. ඔවුන්ගේ ගතිගුණ, සිරිවිරිත් හා සංස්කෘතික ලක්ෂණ ආදිය ගැනද හොඳ දැනීමක් ලැබීමට හැකිවිය. පසුකාලයේ විජයගේ දේශපාලන ජීවිතයේදී විජය ජාති, ආගම්, කුල භේදයන් නොසලකා හැරියෙත් මේ නිසා බවයි, ඔහු බොහෝ විට ප්‍රකාශ කළේ.

විජය ජේ්‍යෂ්ඨ පන්තියේ අධ්‍යාපනය ලබනවිට ඔහු විද්‍යාලයේ ජනප්‍රිය ශිෂ්‍යයෙකු බවට පත්ව සිටියේය. ඒ ඔහුගේ දක්ෂ කථිකත්වය නිසාය. ඔහු විද්‍යාලයේ විවාද කණ්ඩායමේ දක්ෂතමයා බවට පත්වූවා පමණක් නොව, අන්තර් විද්‍යාලීය විවෘත කථික තරගවලදී දක්ෂතම කථිකයාට පිරිනමන රන්පදක්කම වසර ගණනාවක්ම පිට පිටම දිනා ගැනීමට සමත් විය. මේ කථිකත්වයයි විජයගේ දේශපාලන ජීවිතයේ ඉදිරි ගමනට වඩාත් ඉවහල් වූයේ.

කථිකයෙකු වශයෙන් පමණක් නොව ගායකයෙකු වශයෙන්ද විජය පාසල් වියේදී ජනප්‍රියත්වයට පත් වූ අවස්ථාද විය. සී. ටී. ප්‍රනාන්දුගේ ගී වලට වඩාත් කැමැත්තක් දැක්වූ ඔහු සිංහල සාහිත්‍ය සංගමයේ දී සී. ටී. ගේ ගී ගායනා කරමින් සෑම කෙනෙකුගේම අවධානය තමා කෙරෙහි යොමුකර ගත්තා පමණක් නොව අනාගතයේ දී දක්ෂ ගායකයෙකු වශයෙන් ප්‍රසිද්ධියක් ලබන බවටද පෙන්නුම් කළේය.  විජයගේ ජනප්‍රියතාවය පළමුවෙන්ම ජනතාව අතර වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ විජය කලා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වීමත් සමඟය.

1967 දී ප්‍රේමසිරි කේමදාසයන්ගේ “සිතිජය” නම් වේදිකා නාට්‍ය රඟපාමින් කලා ක්ෂේත්‍රයට පිවිසි ඔහු පළමු වරට 1968 දී සුගතපාල සේනරත් යාපාගේ හන්තානේ කතාවේ ප්‍රධාන චරිතය රඟපාමින් සිනමා ක්ෂේත්‍රයටද පිවිසීය. එතැන් පටන් වසර විස්සක් පුරාම ඔහු දැක්වූ රංගන කුසලතාවයන් වගේම ඔහු තුළ වූ උත්තරිතර මිනිස් ගුණ සමුදාය නිසා කලා ක්ෂේත්‍රයට ඔහුගෙන් විශාල මෙහෙවරක් සිදුවිය. ඔහු චිත්‍රපට 89ක පමණ ප්‍රධාන චරිතය රඟදැක්වූ අතර ඒ චිත්‍රපට බොහොමයක්ම වාණිජ චිත්‍රපට වූ අතර එයින් සමහරක් උසස් චිත්‍රපටද විය.

විජය රඟදැක්වූ ඒ සෑම චිත්‍රපටයකින්ම ඔහු තම රංගනයන්ගෙන් රසික හදවත් දිනාගත්තේය. විජය රඟදැක් වූ චිත්‍රපට අතුරින් විජය ඉතා ආසාවෙන් හා ඉතා කැපවීමෙන් රඟපෑ චිත්‍රපටය වූයේ ඇලරික් ලයනල් ප්‍රනාන්දු නිෂ්පාදනය කළ ක්‍රිස්තු චරිතයයි. ඒ චිත්‍රපටය පිළිබඳව විජය කතා කළේ මහත් ආශ්වාදයෙනි. විජය මියයන මොහොත වන විට දිවයිනේ ජනප්‍රියතම නළුවා ලෙස වැඩිම චිත්‍රපට ගණනාවක රඟපාමින් සිටි නළුවා විය. 1983 සිට 1987 දක්වාම පිළිවෙලින් නොකඩවාම ජනප්‍රියතම නළුවාට හිමි සම්මානය දිනා සිටියේය.

ජනප්‍රියතම නළුවාට හිමි සම්මානය පමණක් නොව දක්ෂතාවය, රංගන කුසලතාවයන් සහ විවිධ අංශයන් උදෙසා පිරිනැමෙන සම්මානද ඔහු දිනාගත් වාර අනන්තය. සිනමා ක්ෂේත්‍රයේදී නිෂ්පාදකවරුන්, අධ්‍යක්ෂකවරුන්, නළු නිළියන් හා චිත්‍රපට ක්ෂේත්‍රයේ සියලුම ශිල්පීන්ගේ ආදරය සෙනෙහස දිනාගෙන විජය කටයුතු කලා පමණක් නොව ඔවුන්ගේ විවිධ ප්‍රශ්න වලදීද, ගැටලු වලදීද උපරිමව සහය ලබා දුනි. විජයගේ ජනප්‍රියතාවයට හේතු වූ තවත් දක්ෂතාවයක් වූයේ විජයට සහජයෙන්ම උරුමව තිබූ ගායන හැකියාවයි. කේමදාසයාණන්ගේ සිතිජය ගීත නාටකයේ රඟපාමින් ගායනයට පිවිසි විජය මිය යන විට දක්ෂතම ගායකයෙකු බවට පත්ව සිටියේය. පාර දිගේ චිත්‍රපටයෙන් පසුබිම් ගායන ආරම්භ කළ විජය චිත්‍රපට 25ක පමණ තම පෞරුෂයේ හඩින් ගී ගැයීය.

අදත් ඔහුගේ ගීත ජනතාව අතර ජනප්‍රියව පවතින්නේ ඒ ගායන හැකියාව නිසාය. විජයගේ කලා ජීවිතයටත් වඩා, 80 දශකයේ දී විජයගේ ජනප්‍රියතාවය වඩාත් කැපී පෙනුණේ ඔහුගේ දේශපාලන ජීවිතයේදීය. විජය දේශපාලන ජීවිතයට ප්‍රවිෂ්ඨ වන විට ඔහු අප රටේ සිටි ජනප්‍රියතම සිනමා නළුවා විය. ඒ ඔහු දේශපාලන ජනප්‍රියතාවයට හේතු වූ එක් කරුණකි. එපමණක් නොව, අනිකුත් දේශපාලන පක්ෂ, රාජ්‍ය නායකයින් අභිබවා යන සුවිශේෂ ගුණාංග, දක්ෂකම් රාශියක්ද ඔහු තුල විද්‍යාමාන විය. සහජයෙන්ම උරුම වී තිබුණ ඔහුගේ අසාමාන්‍ය රූ සපුව හා පාංශු දේහය, ඔහුගේ තාරුණ්‍යද, අවංක කැප වීමද, මිනිසත්කමද ඔහුගේ ජනප්‍රියතාවයට වඩාත් හේතුවිය.  තවද ෂජයගේ ජනප්‍රියතාවයට හේතු වූ විශේෂ කරුණක් වූයේ ජනතා සිත් සතන් ඇද බැද ගන්නා වූ වාග් විලාශයක් ඔහුටම උරුමවී තිබූ නිසාය.

ඔහුගේ ව්‍යක්ත කථිකත්වය තුලින් ජනතා සිතුම්, පැතුම් හඬ නගා ප්‍රකාශ කරමින් ජනතාව හා වගකිව යුත්තන් අවදි කිරීමට ඔහු සමත්විය. 1977 මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් කටාන ආසනයෙන් තරග කරමින්, විජය ක්‍රියාකාරි දේශපාලනයට පිවිසියේ ය. එම මැතිවරණයේ දී පක්ෂයේ ප්‍රබල, පැරණි ප්‍රධාන පෙළේ නායකයින් විශාල ඡන්ද ප්‍රමාණවලින් එක්සත් ජාතික පක්ෂයට පරාජයට පත්වන විට විජය පරාජයට පත්වූයේ අඩු ඡන්ද ප්‍රමාණයකිනි. එම මැතිවරණයෙන් පසු ඔහු දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වූයේය.

විජයගේ දේශපාලන ජීවිතයේ විශිෂ්ටතම සිද්ධිය වූයේ 1982 ජනාධිපතිවරණයයි. එම ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වූයේ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාය. එම මැතිවරණයේ දී පක්ෂයේ සමහර නායකයින් කකුලෙන් අදිමින් සටනින් කර අරින විට මුළු බර සිය කර මත තබා ගත් විජය එඩිතරව එයට මුහුණ දෙමින් කොබ්බෑකඩුව මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට කාර්යය භාර්යක් ඉටු කළේය. ජේ. ආර්. ජයවර්ධන මහතාට ප්‍රබල අභියෝගයක් කරමින් ගෙන ගිය ඡන්ද ව්‍යාපාරය විජයගේ සංවිධාන ශක්තිය මැනවින් හෙළිදරව් කළේය.

විජයගේ දේශපාලන ජීවිතයේ ඉතා වැදගත් සංධිස්ථානයක් වූයේ 1984 ජනවාරි මස 22 දින ශ්‍රී ලංකා මහජන පක්ෂය ආරම්භ කිරීමය. එදා පටන් මහජන පක්ෂය හරහා විජය කැප වූයේ ජාතික ස්වාධීනත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය සුරකීම, සමාජ සාධාරණත්වය සාක්ෂාත් කර ගැනීම, දුප්පත්කම, සූරා කෑම හා පීඩනය දුරලීම යන අරමුණු ජයග්‍රහණය කිරීම වෙනුවෙනි.ශ්‍රී ලංකා මහජන පක්ෂය ආරම්භ කළ වකවානුවේ දී රටතුල දක්නට ලැබුණු ප්‍රධාන ගැටලුවක් වූයේ ජනවාර්ගික අර්බුදයයි.

ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දී සියලු ජාතීන්ට හා ආගමිකයින්ට පිළිගත හැකි සේ සැබෑ බලය බෙදීම් ක්‍රියාවලියක් අප රට තුල ඇති කළ යුතු යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ එකම දේශපාලන නායකයා වූයේ විජය කුමාරතුංගයාණන්ය. ඒ වකවානුවේ දී මෙරට අන්තවාදීන්ටත් සමහර දේශපාලනඥයින්ටත් මෙම ස්ථාවරය ඉවසුම් නොගන්නා බව නිසැකය. ඒ නිසා ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල විය. එහෙත් පසුව ශ්‍රී ලංකාවේ සෑම දේශපාලන පක්ෂයක්ම දේශපාලන විසඳුමක අවශ්‍යතාවය පිළිගැනීම විජය ලැබූ ජයග්‍රහණයකි. විජයගේ ජනප්‍රියතාවයට හේතු වූ තවත් සුවිශේෂි ලක්ෂණයක් වූයේ ඔහුගේ මානව දායාවයි. නැතිනම් මිනිස්කමයි.

විජය අප රටේ ජනප්‍රියතම චිත්‍රපට නළුවා විය. ඒ වාගේම ජනපි‍්‍රය ශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙක් විය.  නළුකමයි දේශපාලනයයි දෙකම අයින් කළත් ඒත් මේ රටේ ජනප්‍රියම පුද්ගලයා වන්නේද විජයයි. ඒ විජය තුළ සහජයෙන්ම පිහිටි මිනිස්කම නිසායි. විජය ප්‍රකාශ කළ වචන වලින්ම අපට විජයගේ මිනිස්කම හුවා දැක්විය හැකිවිය. “හැම මනුෂ්‍යයකුගේම වටිනාකමක් තියනවා. අන්න ඒ වටිනාකම අපි නිතරම අගය කළ යුතුයි. මං මහා නළුවෙක්ය, නැතිනම් දේශපාලනඥයෙක්ය කියලා අන් කිසිවෙකුව මට වඩා සළුවෙන් සිතන්නට මට අයිතියක් නෑ. හැම මනුෂ්‍යයෙක්ම අපි අගය කළොත් ඒ හැම මනුෂ්‍යයෙක්ම අපිවත් අගය කරාවි.” විජයගේ ජීවිතය පුරාම මෙම ලක්ෂණය දක්නට ලැබුණේය. එහෙත් විජය දේශපාලන ජීවිතයේ දී ඔහුට ජනතාව විසින් පිරිනැමුණු සුබ පැතුම් - ආශිංසන - ආශිර්වාදය හා සම්මාන තරමටම ද්වේශයෙන් හා වෛරයෙන් එල්ල කළ ගැරහීම්, නින්දා, අපහාසද එකසේ ලැබුණි.

මේ සියලු දේ සුහද ලෙස විඳ දාරාගත් විජය වරක් මෙසේ ප්‍රකාශ කළේය. “ මගේ මේ ගමනට කටුක ප්‍රහාර එල්ල විය හැකි බව මම දනිමි. එහෙත් මොන අන්දමේ විවේචන හා ගර්හා එල්ල වුණද එය මට ගාණක් නොවේ.”  විජය වැනි මිනිසෙකු යළි ශ්‍රී ලංකාවේ උපදී යයි මම කිසිසේත්ම විශ්වාස නොකරමි. ඔහුගේ ආකර්ෂණීය සුන්දර බව,මිනිස්කම, කටහඬ,ගායනය,කථිකත්වය,පෞර්ෂත්වය,එඩිතර බව,දක්ෂකම, අවංකකම සහ ජනතාව වෙනුවෙන් කැපවීම ආදී සියල්ල මිනිසෙකුට එකවර දායාද කරන්නේ ඉතා කලාතුරකිනි. වාසනාවකට හෝ අවාසනාවකට විජයට ඒ සියල්ල පිහිටා තිබුණි . ඔහු වැන්නකුට වෙඩි තබා මරා දැමිය හැක්කේ ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් අන්ධ වූ ඝාතකයෙකු හෝ උන්මත්තකයෙකුට පමණි. එහෙත් ඒ සියල්ල සිදුවී අවසන්ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා