බාල ඩීසල් නැව අත්අඩංගුවට

IOC සමාගම සිංගප්පූරුවෙන් ගෙනා

බාල ඩීසල් නැව අත්අඩංගුවට

කලින් තෙල්වල ප්‍රමිතිය හොඳයි: ගොඩ බාන්න යද්දී ‘පාට’ වෙනස්

ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටතට යෑම වැළැක්වීමට නියෝග

තෙල් තොගය ආනයනය කිරීමේ දී මගඩියක් වුණාදැයි සැක

සිංගප්පූරුවේ සිට තත්ත්වයෙන් බාල ඩීසල් මෙට්‍රික් ටොන් 4500ක් මෙරටට රැගෙනවිත් ත්‍රිකුණාමල වරායේ නැංගුරම්ලා ඇති වියට්නාම් සමාගමකට අයත් නෞකාවක් අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්. මොරායස් මහතා නියෝග කළේය. මේ නියෝගය අධිකරණ 'හාබර් මාෂල්' වරයා මඟින් ක්‍රියාත්මක කිරීමට දන්වා සිටි විනිසුරුවරයා අදාළ නෞකාවට ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටතට යෑම වළකන ලෙසට ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතද දැන්වීය.ඉන්දියානු තෙල් සමාගම (IOC) කළ පැමිණිල්ලක් සලකා බලමින් එම්.ටී. පිනා ලයින්ස් ග්ලෝරි නැමති මෙම නෞකාව අත්අඩංගුවට ගැනීමට එසේ නියෝග කෙරුණි.

ඉන්දියානු තෙල් සමාගම (IOC) විසින් සිංගප්පූරුවේ පෞද්ගලික සමාගමකින් අමෙරිකානු ඩොලර් මිලියන 13කට මෙම ඩීසල් තොගය ඇණවුම් කිරීමේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිසි ප්‍රමිතීන්ට අනුකූලව තිබුනද ත්‍රිකුණාමල වරායෙන් ඩීසල් තොගය ගොඩබෑමට සූදානම් ව පරීක්ෂා කිරීමේදී ඩීසල්වල වර්ණය වෙනස් වී නිසි ප්‍රමිතියෙන් තොරව තිබූ බව පවසයි.

ප්‍රමිතියානුකූල නොවූ මෙම ඩීසල් තොගය බාරගන්නා ලෙසට තෙල් තොගය ඇණවුම් කළ සිංගප්පූරුවේ '‍ග්ලෙන්කෝ' පෞද්ගලික සමාගමට දැන්වූවද එම සමාගම ඇණවුම් කළ මිලට වඩා අමෙරිකානු ඩොලර් මිලියන දෙකහමාරක් අඩුවෙන් මෙම ඩීසල් තොගය නැවත ගැනීමට සූදානම් වන බව ඉන්දියානු තෙල් සමාගම (IOC) සිය පැමිණිල්ලෙන් අධිකරණයට කරුණු දන්වා ඇත.

තෙල් තොගය ආනයනය අතරතුර නැවේදී සිදු වූ වරදක් මත තෙල්වල ප්‍රමිතිය වෙනස් වී ඇති බව පවසන ඉන්දියානු තෙල් සමාගම මෙමඟින් සිදු වන පාඩුව අයකරගන්නා තෙක් ‍නැව ලංකාවේ රඳවා ගැනීමට නියෝග කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉන්දියානු තෙල් සමාගම සිය නීතිඥයන් මඟින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් අදාළ නැව අත්අඩංගුවට ගැනීමට විනිසුරුවරයා නියෝග කළේය. ඉන්දීය තෙල් සමාගම (IOC) මේ ‍ඩීසල් තොගය ඇණවුම් කළ අවස්ථාවේ එම සමාගමෙන් මැරයින් ඩීසල් මෙට්‍රික් ටොන් 5500ක් හා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 11000ක් ඇණවුම් කර ඇති අතර එම තෙල් ද මේ ප්‍රශ්නගත ඩීසල් තොගය ද සමඟ අදාළ නැවෙන් මෙරටට ආනයනය කර ඇත.

මෙරයින් ඩීසල් හා පෙට්‍රල් තොගය මෙරට පරීක්ෂණයේදී මුල් ප්‍රමිතියෙන්ම තිබීම නිසා කොළඹ වරායෙන් ගොඩ බා ඇත.

ඉන්දියානු තෙල් සමාගම වෙනුවෙන් නීතිඥ උදය ධම්මික ගබඩාගේ හා නිරංජන් අබේරත්න යන මහත්වරු පෙනී සිටියහ.

ලබන 27 වැනිදාට මෙම පැමිණිල්ල නැවත කැඳවීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා