ජපානයත් ශ්‍රී ලංකාවත් අතර සබඳතා ශක්තිමත්වීමට බුදු දහම රුකුලක් වුණා

ජපානයත් ශ්‍රී ලංකාවත් අතර සබඳතා ශක්තිමත්වීමට බුදු දහම රුකුලක් වුණා

ජපාන නියෝජ්‍ය අගමැති හමුවේ ජනපති කියයි

ජපානය අද ලබා තිබෙන දියුණුවත් ශ්‍රී ලංකාවේ නැඟී එන දියුණුවත් තව තවත් ශක්තිමත් කිරීම සඳහා දෙරටේ ජනතාව අතර සම්බන්ධය තව දුරටත් ශක්තිමත් කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ජපානය හා ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් වීමට බුදුදහම සහ පොදු සංස්කෘතික වටිනාකම් බෙහෙවින් දායක වී තිබෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ ජපාන නියෝජ්‍ය අගමැති තාරෝ අසෝ මහතා සමඟ පැවැත් ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව තෝකියෝ හි පැවැත් ජපාන ශ්‍රී ලංකා සංස්කෘතික සංදර්ශනයට එක්වෙමිනි.

උත්සවයේ ආරාධිතයන් වූ ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා සහ අසෝ මැතිතුමා සංදර්ශනය නැරඹීමට පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන්, ජපාන නිලධාරීන් හා ව්‍යාපාරික ප්‍රධානීන් ඇමතූ අතර දෙරට අතර පවත්නා සමීප සංස්කෘතික සබඳතා එහිදී ඇගයීමට ලක් කෙරිණි.

වැඩිම ජපාන සංචාරක පිරිසක් ශ‍්‍රී ලංකාවට ගෙන ආ හොඳම සංචාරක නියෝජිත ආයතනවලට රන්, රිදී හා ලෝකඩ සම්මාන ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රදානය කළේය.

සංචාරක පැමිණීම අඩු කාලවල දී සංචාරක ප‍්‍රවර්ධනය වෙනුවෙන් විශේෂ සම්මානයක් පිරිනැමුණු අතර ශ‍්‍රී ලංකා තේ ප‍්‍රවර්ධනය වෙනුවෙන් රන් හා රිදී සම්මානය බැගින් හා ලෝකඩ සම්මාන හතරක් ද ජනාධිපතිතුමා ප‍්‍රදානය කළේය.

පසුගිය කාලයේ සිදු වූ ස්වාභාවික ආපදාවලින් පසු ජපානයේ ඇති වී තිබෙන ආශ්චර්යමත් පිබිදීම පිළිබඳව ද ශ‍්‍රී ලංකාව ඉතා සතුටට පත්වන බව ද ජනපති කීය පැවසීය.

පසුගිය දශකය තුළ ශ‍්‍රී ලංකාවට ලබා දුන් ආධාර පිළිබඳව ශ‍්‍රී ලංකා ජනතාව සහ රජය වෙනුවෙන් ජපාන ජනතාවට තම හෘදයාංගම ස්තුතිය පුද කරන බව ද ජනාධිපතිතුමා වැඩි දුරටත් පැවසීය.

නාගරික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්, වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත‍්‍රී හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ ජපානයේ ශ‍්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා