ජගත් මානව හිමිකම් කවුන්සලයට ශ්‍රී ලංකාවෙන් අද විශේෂ ප්‍රකාශයක්

ජගත් මානව හිමිකම් කවුන්සලයට ශ්‍රී ලංකාවෙන් අද විශේෂ ප්‍රකාශයක්

ජගත් මානව හිමිකම් කවුන්සලය හමුවේ ශ්‍රී ලංකාව අද (15) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ජගත් මානව හිමිකම් කවුන්සලයේ විසිදෙවැනි සැසිවාරය නියෝජනය කරන ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ඇමැති මහින්ද සමරසිංහ මහතා එම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් රොඩ්නි පෙරේරා මහතා "දිනමිණ" ට පැවසීය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීම මෙන්ම ප්‍රවර්ධනය කිරීම සහ පසුගිය වර්ෂ කිහිපයක් අලලා මෙරට මානව හිමිකම්

පිළිබඳව සැකසූ විශ්ව කාලීන සමාලෝචනය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරෙන අතර ඊට අමතරව ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද කරුණු දැක්වීමට නියමිත බව ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය ජගත් මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් මෙහිදී ශ්‍රී ලංකාවේ ස්ථාවරය පළ කෙරෙන අතර මූලික යෝජනා 11කින් සමන්විත එම යෝජනා කෙටුම්පත මේ වන විට ජගත් මානව හිමිකම් කවුන්සලයට අයත් රටවලට බෙදා දී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගී වී සිටින ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම විදේශීය රාජතාන්ත්‍රික නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

එම යෝජනාවේ සඳහන් පරිදි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීමක් සිදුවී නොමැති අතර යුද්ධයේ අවසන් කාලයේ සිදු වු සිද්ධීන් සම්බන්ධව ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් ජාත්‍යන්තරය කිසිදු සැලකිල්ලක් නොදක්වා ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ජගත් මානව හිමිකම් කවුන්සලයේ සැසිවර පැවැත්වෙන සෑම අවසථාවක දී ම ශ්‍රී ලංකාව අපහසතාවට පත්කරමින් කීර්තිනාමයට හානි කිරීම සඳහා බ්‍රිතාන්‍ය චනල් 4 නාලිකාව ඇතුළු ඇතැම් කොටි හාතවාදීන් උත්සාහ කරන බව පෙන්වාදෙන විදේශ කටයුතු අමාත්‍යාංශය හුදෙක්ම එය දේශාපලන අරමුණු ඉටුකර ගැනීමේ ප්‍රයත්නයක් බවද කියාසිටී.

මේ අතර අමෙරිකාව ඉදිරිපත්කර ඇති මේ යෝජනාව පිළිනොගන්නා බවද අවධාරණය කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා