මා දුවන තරම් වේගයෙන් නිලධාරීන් දුවන්නේ නෑ

මා දුවන තරම් වේගයෙන් නිලධාරීන් දුවන්නේ නෑ

ඒ ගොල්ලෝ මට වඩා ගවු ගණනක් පස්සෙන්

- ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ

ක්‍රීඩා පරිපාලන කටයුතු විධිමත් කිරීමට හා ක්‍රීඩා සංවර්ධනයට ඇතැම් නිලධාරීන්ගේ මන්දගාමි බව බාධාවක් වී ඇතැයි ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

“මා දුවන තරම් වේගයෙන් ඇතැම් නිලධාරීන් දුවන්නේ නැ. ඒගොල්ලෝ ගවු ගණනාවක් මට පිටිපස්සේ. ඒ නිසා වැඩකටයුතුවල ප්‍රමාදවීම් අතිවෙනවා. මට අවශ්‍ය කාර්යක්ෂම කඩිනම් සේවයක්” ඇමැතිවරයා එලෙස පැවැසුවේ ටේබල් ටෙනිස් උපකරණ බෙදාදීමේ උත්සවයකදීය. කොළඹ නවම් මාවතේ නීතිගත සංස්ථාවේදී ඊයේ පැවැති මේ උත්සවය ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් සංගමයේ සංවිධානයෙන් පැවැත්වුණි.

ටේබල් ටෙනිස් ක්‍රීඩාව බරපතළ පසුබෑමකට ලක්ව ඇතැයිද ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය. ජාත්‍යන්තර ජයග්‍රහණ ලැබිය හැකි ක්‍රීඩාවක් වන මෙය ඉදිරියට ගැනීමේ වගකීම වත්මන් පරිපාලකයන් සතුවන බවද අලුත්ගමගේ මහතා පෙන්වාදුණි. ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් සංගමයේ වත්මන් සභාපති අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට ක්‍රීඩාව නඟා සිටුවීමේ හැකියාවක් ඇතැයි ඇමැතිවරයා විශ්වාසය පළ කළේය.

“වැටී ඇති ටේබල් ටෙනිස් ක්‍රීඩාව යළි නඟා සිටුවා අපට ජයග්‍රහණ අත්කරදීමේ සැලැස්මක් සෑදීම නිලධාරීන්ට භාරයි. වොලිබෝල් ක්‍රීඩාව මෙයට දශකයකට ‍පමණ පෙර කඩා වැටී තිබුණා. එය හොඳ තත්ත්වයකට ගන්න වොලි‍බෝල් සභාපති ඇමැති ඩිලාන් පෙරේරා මහතාට හැකි වුණා. අද ආසියාවේ හොඳ මට්ටමක වොලිබෝල් ක්‍රීඩාව තිබෙනවා. ඒ වගේ ටේබල් ටෙනිස් ක්‍රීඩාවත් නඟා සිටුවන්න ලසන්ත අලගියවන්න ඇමැතිතුමාට පුළුවන් වෙයි කියා මා විශ්වාස කරනවා” අලුත්ගමගේ මහතා පැවැසීය.

ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම සඳහා රජය සැලසුම් සකස් කරද්දී එයට සහය ‍දැක්වීම ක්‍රීඩාවට සම්බන්ධ සෑම දෙනාගේම වගකීමක් බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

චෝදනා පත්‍රයක්

මේ අතර ටේබල් ටෙනිස් සංගමයේ හිටපු ප්‍රධාන නිලධාරියෙකුට එරෙහිව ක්‍රීඩා අමාත්‍යංශය චෝදනා පත්‍රයක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව වාර්තා විය. අවිධිමත් ක්‍රියා සම්බන්ධ ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකරන ලද පරීක්ෂණයකින් පසු චෝදනා පත්‍රය භාරදීමට තීරණය වී ඇතැයි වාර්තා වේ.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා