දෙහිවල – ගල්කිස්ස වැසියන්ට වරිපනම් බදු ගෙවන්න සහන කාලයක්

දෙහිවල – ගල්කිස්ස වැසියන්ට වරිපනම් බදු ගෙවන්න සහන කාලයක්

10%ක වට්ටමක්ද ලබා දෙයි

දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාව එම බල ප්‍රදේශයේ පදිංචි පුරවැසියන්ට බදු ගෙවීම සඳහා සිවු මසක සහන කාලයක් ලබා දී ඇති අතර වරිපනම් බදු වලින් සියයට 10ක වට්ටමක්ද ලබාදීමට පියවර ගෙන ඇත.

මේ අනුව අගනුවර අලංකාරම නගරය බවට දෙහිවල ගල්කිස්ස මහ නගරය පත් කිරීම සඳහා මේ වසරේ රුපියල් තිස්තුන් කෝටියක ආදායම් වරිපනම් බදු වලින් මෙලෙස උපයා ගැනීමට සැලසුම් කර ඇති බව දෙහිවල ගල්කිස්ස පුරපති ධනසිරි අමරතුංග මහතා පැවැසීය.

දෙහිවල මහ නගර සභාවේ සභා සම්මතය පරිදි සියලුම නිවාස, ගොඩනැඟිලි ඉඩම් සඳහා 2013 වර්ෂයේ නව තක්සේරුව සිදු කිරීම නිසා තක්සේරු දැන්වීම් බදු ගෙවන්නන්ට ප්‍රමාදවීම හේතුවෙන් එම සියයට 10 වට්ටම මේ මස 30 දක්වා දීර්ඝ කරන ලද බව නගරාධිපතිවරයා පවසයි.

මෙම වරිපනම් බද්ද පිළිවෙළින් මාර්තු 31, ජූනි 30, සැප්තැම්බර් 30 හා දෙසැම්බර් 31 දින හෝ ඊට පෙර සමාන කොටස් 4කින් හෝ එකවර හෝ නගර සභාවට ගෙවීමට හැකියාව ඇත.

සියලුම පදිංචි වාසස්ථානවලින් සියයට 6ක වරිපනම් බද්දක්ද, පදිංචි නිවාස නොවන අනෙකුත් සියලුම කර්මාන්ත, රජයේ දේපළ, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ආදියෙන් සියයට 30 බද්දක්ද, සංවර්ධනය නොකරන ලද ඉඩමකින් සියයට දශම 2ක බද්දක්ද අය කෙරෙනු ඇත. වර්ෂයට නියමිත වරිපනම් බද්ද අප්‍රේල් මස 30 ට පෙර ගෙවන්නේ නම් එම ගෙවීම් සඳහා සියයට 10ක බද්දක්ද ඒ ඒ කාර්තුවේ පළමු මාසය තුළ ගෙවන්නේ නම් සියයට 5ක වට්ටමක් ලබාදීමට ද කටයුතු කර ඇත.

නියමිත කාල සීමාව ඇතුළත බදු මුදල් ගෙවීම් පැහැර හරින්නන්ගෙන් වරෙන්තු ගාස්තු අය කෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා